අභිධර්මය
සත්වයන් උපදිනා ස්ථාන
සසර සැරිසරන සත්වයෝ උපදිනා ස්ථාන තීරණය වන්නේ ඔවුනොවුන් ගේ චිත්ත හෙවත් සිත අනුව ය. පහලවන සිත් ප්‍රධාන වශයෙන් කාමාවචර, රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර වශයෙන් සිව්වැදෑරුම් වේ. මෙයින් කාමාවචර ලෝකයන් හි උපන් සත්වයන් හට කාමාවචර සිත් පමණක් ද, රූපාවචර ලෝකයන් හි උපන් සත්වයන් හට
රූපාවචර සිත් පමණක් ද, අරූපාවචර භූමිවල උපන් සත්වයන් හට අරූපාවචර සිත් පමණක් ද, ලෝකෝත්තර භූමියට පත් උතුමන් ට ලෝකෝත්තර සිත් පමණක් ද, පහල වන්නේ ය.
(ලෝකෝත්තර තත්වයට එ නම් රහත් ඵලයට පත් වූ උතුමන් ගේ නැවත ඉපදීමක් නොමැත. භෞතික වශයෙන් ලෝකෝත්තර භූමියක් ද, නොමැත. නිවනට පත් වූ බුදු, පසේබුදු, රහත් උතුමන්ට ලෝකෝත්තර සිත් පහල වන්නේ ය.)
ධම්මසංගණීප්පකරණය
ථෙරවාදී අභිධර්මයෙ හි කේන්ද්‍රීය ප්‍රකරණය බව කිව යුතු ය. එය අභිධර්මයේ මූලික ලක්ෂණය වන සංඛ්‍යාලේඛනයක් බඳු ප්‍රභේද කරණයක් විලාශයෙන් ධර්ම පිළිබඳ විභාගයක් ඉදිරිපත් කරයි. එය ආරම්භ වන්නේ ‘මාතිකා’ නමින් හැඳින්වෙන පූර්ණ මාතෘකා පෙළකිනි. මෙ ම මාතෘකා ධම්මසංගතිය ට පමණක් නො ව සමස්ත අභිධර්ම පිටකය ට ම පොදු බව සැළකිය යුතු ය. මාතෘකා එකසිය විසි දෙකක් වශයෙන් වර්ග වෙයි. එයින් මුල් විසිදෙක තීක නමින් හැඳින් වේ. ඉතිරිය දුක වශයෙන් හැඳින් වේ. ත්‍රික නමින් හඳුන්වන්නේ තුන බැගින් ඉදිරිපත් කළ හැකි ධර්මයෝ ය. නිදස්නක් වශයෙන් දක්වතහොත් කුසල, අකුසල,අව්‍යකත යන තුන කුශල ත්‍රිකය ලෙස දැක්වේ. සුඛ, දුක්ඛ. අදුක්ඛමසුඛ යන තුන වෙදනා ත්‍රිකය සේ දැක් වේ. මෙබඳු ත්‍රික විසිදෙකකි. දුක හෙවත් දෙකේ ගණවල ට නිදසුන් සේ හේතු - නහේතු යන දෙක, හේතු දුකය ලෙස ද, සහේතුක, අහේතුක දෙක සහේතුක දුකය සේද දක්වා තිබීම පෙන්වා දිය හැක. මෙ ම ලැයිස්තු දෙක නිමවන්නේ සුත්තන්තමාතිකා නම් වූ ධර්ම ගණ හතලිස් දෙකකිනි . ඒවා අභිධර්මය ට නො ව සූත්‍රවල ට අයත් ප්‍රභේද වුව ද සැරියුත් හිමියන් විසින් ඒවා ද ධම්මසංගනී මාතිකාවල ට එක් කළ බව අටුවාවේ දැක් වේ.
මාතෘකාවලින් අනතුරුව ධම්මසංගණීය කාණ්ඩ හතරකින් අභිධර්මයෙහි මූලික විෂය පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි. එ ම කාණ්ඩ හතර නම්.
චිත්තුප්පාද කාණ්ඩය - චිත්ත හා චෛතසික ධර්ම පිළිබඳව කුසලා කුසල හා අවඨාකත වශයෙන් සළකා බලමින් ඒවායේ පහළවීම පිළිබඳව සාකච්ඡා කරයි. ඒවා කාමාවචර, රූපාවචර, අරූපාවචර,හා ලොකුත්තර භූමිවල පවත්නා ආකාරය ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා වෙයි. අනතුරුව ඒවා කුසල, අකුසල, අහේතුක වශයෙන් කවර අයුරින් ප්‍රභේද වන්නේ දැ යි විග්‍රහ වෙයි. මේවා ධම්මවවත්ථානවාරයේදී මොහ්නස, දොම්නස වැනි කවර ගුණයක් තිබේදැයි දක්වනු ලැබේ. කොට්ඨාසවාරයේ දී බන්ධ, ආයතන, ඡාතු ආදී කොටස් වර්ග කරනු ලැබේ. කොට්ඨාසවා, සූඤ්ඤතවාර වශයෙන් වඩාත් සියුම් ව විග්‍රහ කරනු ලැබේ.
රූප කාණ්ඩය - භෞතික රූප පිළිබඳ සාකච්ඡාව ද මාතෘකාවලදි දැක්වූ ප්‍රථම .ත්‍රිකය අනුව ම කෙරෙයි. චිත්තුප්පාදයේ දී කෙටියෙන් දැක්වූ අව්‍යකත ධම්ම මෙ හි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ රූප අයත් වන්නේ ඒ ගණයට හෙයිනි. රූප 28ක් සාකච්ඡාව ට භාජන වෙයි.
නික්ඛේප කාණ්ඩය- මුල දී වර්ග කර ගන්න ට නො ලද පරිද්දෙන් ඒ ඒ මාතෘකාවන් අතුරින් එක් එක් පදයෙන් සංග්‍රහ කළ යුතු ධර්ම සංඛ්‍යාව මෙතෙකැ යි වෙන්කර දැක්වීම මෙ හි දී සිදුවෙයි.
අට්ඨකථා කාණ්ඩය - මෙය අතිරේක සංග්‍රහයකි. කුශල යනු කුමක් ද? අකුශල යනු කුමක් ද, ආදී වශයෙන් ප්‍රශ්න නගා පැහැදිලි කිරීම මෙයින් සිදුවෙයි.
විභංගප්‍රකරණය
ධර්ම පිළිබඳ විවිධ වර්ගීකරණ ඇතුළත් විභංගප්‍රකරණයෙහි මාතෘකා දහඅටක් න්‍යාය තුනකට අනුව විභාග කර දක්වනු ලැබේ. ඒ මාතෘකා දහඅට මෙ සේ ය.
(1) බන්ධ
(2) ආයතන
(3) ධාතු
(4) සච්ච
(5) ඉන්ද්‍රීතය
(6) පටිච්චසමුප්පාද
(7) සතිපට්ඨාන
(8) සම්මප්පධාන
(9) ඉද්ධිපාද
(10) බොජ්ඣංග
(11) මග්ග
(12) ඣාන
(13) අප්පමඤ්ඤා
(14) සික්ඛාපද
(15) පටිසම්භිදා
(16) ඥාණ
(17) බුද්දකවත්ථු
(18) ධම්මපදය
මේවා මුලින් ම සූත්‍ර පිටකයෙ හි ඇතුළත් ක්‍රමය ට අනුව විභාග කර එය සුත්තන්ත භාජනීය වශයෙන් හඳුන්වනු ලැබේ. එ ම පද ම අභිධර්මයෙ හි ක්‍රමය ට අනුව විග්‍රහ කරන විට අභිධම්ම භාජනීය නම් වේ. අනතුරුව ප්‍රශ්න නගා පිළිතුරු සැපයීමේ ක්‍රසයට සාකච්ඡා කෙරෙයි. එ ම න්‍යාය හඳුන්වන්නේ පඤහපුච්ඡා වශයෙනි.
විභංගයෙ හි සාකච්ඡා කෙරෙන කරුණු දහඅටෙන් මුල් 6 තුළ සත්වයන් ගේ මානසික හා කායික සංඝටක ඇතුළත් වන අතර එ ම සංඝටකයන් හසුරුවන ප්‍රධාන නියාම දෙක වශයෙන් අනිච්ච හා පටිච්ච සමුප්පාද දැක් වේ. හත්වැන්නේ සිට දොළොස්වැන්න දක්වා ඇති ධර්ම සත්වයන් සසරින් මුදවන මාර්ගයෙ හි අංග වෙති. දහතුන් වැන්නේ සිට දහඅටවැන්න දක්වා ඇත්තේ මුල් කොටසේ කරුණු පිළිබඳ වඩාත් පරිපූර්ණ ලෙස කෙරෙන විග්‍රහ වෙති.
ධාතු කථා
මෙය මුල් පොත් දෙක හා එක්ව ගත්විට අභිධර්මය පිළිබඳ ගැඹුරු දැනුම ට අදාළ ප්‍රමුඛ ග්‍රන්ථය වශයෙන් හැඳින්විය හැකි යැ යි විචාරකයෝ පවසති. මෙ ම කුඩා ප්‍රකරණයෙ හි ධාතු පිළිබඳ විභංගය ට ද වඩා ගැඹුරු විවරණයක් ඇතුළත් වෙයි. මෙ හි උපයුක්ත විශ්ලේෂණ ක්‍රමය විභංග ක්‍රමයට වෙනස් ය. තික හා දුක ආදී මාතිකා වශයෙන් මුල් ග්‍රන්ථවල දී කැටි කළ ධර්ම ධාතූ කථාවෙ හි දී ස්කන්ධ, ධාතු හා ආයතන වශයෙන් බෙදා දහහතර ආකාරය ට විශ්ලේෂණය කිරීම මෙ හි දී සිදුවෙයි. එ ම දහහතර විධිය ග්‍රන්ථයේ පරිච්ඡේද දහහත බව ට පත්වෙයි.
පුග්ගල පඤ්ඥත්ති
අභිධර්මයේ දී ධර්ම විභාගයෙ හි පදනම වශයෙන් සම්මුති හෙවත් පඤ්ඤත්ති වශයෙන් එක් ධර්ම වර්ගයක් ද පරමත්ථ වශයෙන් තව ත් ධර්ම වර්ගයක් ද දක්වනු ලැබේ. පරමාර්ථ සත්‍යය වියුක්ත පද භාවිතය මගින් විග්‍රහ කිරීම අභිධර්මයේ මූලික අරමුණ වුවත් හුදෙක් පරමාර්ථ වශයෙන් පමණක් ධර්ම සාකච්ඡා කිරීම දුෂ්කර කටයුත්තකි. ශ්‍රාවකයනට කරුණු අවබෝධ කිරීම පිණිස ලෝක සම්මුතිය ට අනුව දෛනික ව්‍යවහාර පද හා සංකල්ප භාවිත කිරීම ට සිදුවෙයි. අභිධර්මය දෙවිදියක ප්‍රඥප්ති ගැන කථා කරයි. ප්‍රථම වර්ගය ලොව සැබැවින් ම ඇති දේ ගැන ද සඳහන් කරන අතර දෙවන වර්ගය යථාර්ථ වශයෙන් නැති දේ ගැන සඳහන් කරයි. යථාර්ථ වශයෙන් ම විද්‍යාමාන ප්‍රඥප්ති ගණයට වැටෙන්නේ ස්කන්ධ, ධාතු, ආයතන හා ඉන්ද්‍රීය වැනි දේ ය. දෙවන වර්ගයට අයත් වන්නේ මිනිසා, ස්ත්‍රිය, දෙවියෝ, පුද්ගලයා වැනි යථාර්ථ වශයෙන් බලන විට විද්‍යාමාන නැතත් සාමාන්‍ය ලෝක ව්‍යවහාරය සඳහා අවශ්‍ය හෙයින් පිළිගත යුතු ප්‍රඥප්ති ය.
අභිධර්ම පිටකයෙ හි මුල් ග්‍රන්ථ වූ ධම්මසංගනී, විභංග හා ධාතු කථා යන ග්‍රන්ථවලදී මුල් ගණයට වැටෙන ස්කන්ධ, ධාතු, ආයතන, සච්ඡ හා ඉන්ද්‍රීය පිළිබඳ සාකච්ඡා හා විශ්ලේෂණ ප්‍රමාණවත් ව සිදුකර ඇත. පුග්ගල පඤ්ඤත්ති ග්‍රන්ථය ඉතිරි ප්‍රඥප්ති පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණ කර ගත්තකි. එහෙත් පඤ්ඤත්ති පිළිබඳ සාකච්ඡාවක් අංග සම්පූර්ණ වීම ට නම් පූර්වෝක්ත විද්‍යාමාන ප්‍රඥප්ති පිළිබඳ ව ද සඳහන් කිරීම අවශ්‍ය හෙයින් ඒවා පිළිබඳ ව ද කෙටියෙන් දක්වා ඇත. බන්ධ පඤ්ඤත්ති, ආයතන පඤ්ඤත්ති, ධාතු පඤ්ඤත්ති, සච්ඡ පඤ්ඤත්ති, ඉන්ද්‍රීය පඤ්ඤත්ති සහ පුග්ගල පඤ්ඤත්ති වශයෙන් මෙ හි පරිච්ඡේද හයකි. හයවන පරිච්ඡේදයේ තම පොතෙ හි නම වශයෙන් යොදා ඇත්තේ පොතෙහි මූලික අරමුණ පුද්ගල වශයෙන් ගත හැකි අවිද්‍යාමාන ප්‍රඥප්තීන් පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කරන හෙයිනි. මෙ හි දී අංගුත්තර නිකායේ ද භාවිත ක්‍රමය වන උත්තරෝත්තර ක්‍රමයට සංඛ්‍යාගත කළ පුද්ගල වර්ග අනුපිළිවෙලින් දක්වා ඇත. එබඳු අනු ඛණ්ඩ දහයක් එ ම පරිච්ඡේදය තුළ දක්වා තිබේ.
කථාවත්ථුප්පකරණ
මෙ ම ග්‍රන්ථය (පුග්ගල පඤ්ඤත්තියමෙන් ම) සාමාන්‍ය පරමාර්ථ සත්‍ය විග්‍රහ ක්‍රමයෙන් බැහැර ව ව්‍යවහාරික ගැටළුවක් වූ ධර්ම විරෝධී මතිමතාන්තර විවේචනය වෙනුවෙන් කැප වූවකි. “පුද්ගලයෙක් ඇත” “ආත්මයන් ඇත” වැනි ධර්මය විකෘති කරන සංකල්ප බෞද්ධ නිකායාන්තරයන් අතර ඇති වූ හෙයින් ඒවා නිසි සේ නිරාකරණය කොට ථෙරවාදී විභජ්ජවාදී ස්ථාවරය තහවුරු කරලනු පිණිස මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ විසින් ධර්මාශෝක රාජ සමයේ දී මෙ ම ග්‍රන්ථය රචනා කරන ලදී. එහෙත් මේ සඳහා භාවිත කර ඇත්තේ බුදුරදුන් විසින් ම දෙන ලද න්‍යාය හෙයින් හෙය ද බුද්ධ වචන වශයෙන් ම සළකා ථෙරවාදී අභිධර්ම පිටකය ට ඇතුළත් කර ඇත.
කථාවත්ථුප්පකරණයේ ඇතුළත් කරුණු සකවාද (තම පක්ෂයේ මතය) හා පරවාද (ප්‍රතිවාදින්ගේ මතය) වශයෙන් දෙවැදෑරුම් වෙයි. සකවාද පන්සියයක් ද පරවාද පන්සියයක් ද මෙහි ඇතුලත් ය. ඒවා ඉදිරිපත් කර ඇත්තේ ප්‍රතිවාදියකු හා මොග්ගලීපුත්තතිස්ස හිමියන් අතර ඇති වන විවාදයක විලාසය අනුගමනය කරමිනි. වාද ප්‍රතිවාද සාකච්ඡා රටාවෙන් ඉදිරිපත් කරන මෙ ම රීතිය වෙනත් අභිධර්ම ග්‍රන්ථවල රීතිය ට බෙහෙවින් වෙනස් ය. ඒ වන විට ඇති ව තිබූ මිත්‍යාමත මෙන් ම ඇති වෙතැ යි හැඟුණු මත ද මෙය ට ඇතුළත් කර සාකච්ඡා කළ බව කියනු ලැබේ. මේ අදහස් කවර කවර නිකායයනට අයත් දැ යි හඳුන්වා දෙනු ලබන්නේ කථාවත්ථු අටුවාවෙනි.
යමකප්පකරණ
බෞද්ධ තර්ක හෙවත් න්‍යාය ශාස්ත්‍රයේ මූල ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකි යැයි රිස් ඩේවිඩ්ස් පඬිතුමා විසින් හඳුන්වනු ලබන මේ ග්‍රන්ථය බෞද්ධ දාර්ශනික ගැටළු හා පාරිභාෂික පද පිළිබඳ විචක්ෂණයක් වගා කර ගැනීම පිණිස අදාල වන්නකි.
අභිධර්ම පිටකය ට අයත් ධම්මසංගණී, විභංග හා ධාතු කථා යන ග්‍රන්ථවලින් සංඛාර ලෝකයේ පවතින ධර්මයන් පිළිබඳ ව පැහැදිලි කරන ලදී. පුග්ගල පඤ්ඤත්තිහා කථාවත්ථු මගින් සත්ව ලෝකයහෙවත් පුද්ගලයන් හෝ ජීවින් විසින් නිරූපණය කරනු ලබන යථාර්ථ නො වූ එහෙත් යථාර්ථ වශයෙන් පෙනෙන ලෝකය පිළිබඳ ව සාකච්ඡා කරන ලදී. සංඛාර ලෝකය හා සත්ව ලෝකය පවතින්නේ එකට ය. මේ දෙක ම එක් කර ඔකාසලෝක (අවකාශ ලෝකය) වශයෙන් හැඳින් වේ. මෙ ම ලෝකත්‍රය ම එකට ගෙන එ හි පවතින ධර්ම හා පුද්ගල අතර පවත්නා අන්තර් සම්බන්ධතා විශ්ලේෂණය කිරීම යමක මහා ප්‍රකරණයෙන් කරනු ලැබේ. යමකය මෙ ම කාර්යය ඉටු කරන්නේ ධර්ම යුගල වශයෙන් ගැනීමෙනි. එක් එක් පදයක සම්පූර්ණ වැදගත් කම හා සීමාවන් තීරණය කිරීම සඳහා අනුලෝම හා පටිලෝම යන තාර්කික ප්‍රතිපදා දෙක අනුව මෙ ම විමර්ශනය සිදු කෙරේ. මෙ හි දී කිසියම් පදයක් පිළිබඳ සංශයක් ඇතිවීම වැළකීම සඳහා වෙනත් අර්ථ එයට නො ගැලපෙන ආකාරය තහවුරු කිරීම ද කරනු ලැබේ. මේ කාර්යයන් ඉටුකර ගන්නේ ප්‍රශ්න නගා පිළිතුරු දීමේ රටාවෙනි.
නිදසුනක් වශයෙන් :- සියලු රූප රූපස්කන්ධ ද? යන්නට පිළිතුරු වශයෙන් රූප යන්න ප්‍රිය රූප, මෙබඳු රූප වැනි වාක්‍යාංශ වල ද යෙදෙයි. එහෙත් ඒ තැන් හි රූප යන්නෙන් රූපස්කන්ධය නො හැඟේ ය යි පවසා සියලු රූපස්කන්ධ රූප ද යන ප්‍රශ්නය නගා එය ට එ සේ ය’ යන පිළිතුර දෙනු ලැබේ. රූපස්කන්ධ යන්න පුළුල් අරුත් ඇති පදයක් හෙයින් එය ට පියරූප - ඵවරූප වැනි පද ඇතුළත් වෙයි.
පට්ඨානප්පකරණ
මෙය විශාලතම අභිධර්ම ප්‍රකරණය වන අතර අභිධර්ම පිටකයෙ හි සංශ්ලෂණ කාර්යය ඉටුකරන ග්‍රන්ථය සේ ද හැඳිනවෙයි. ධම්මසංගනියෙ හි දැක්වූයේ ධර්ම විශෙලෂණය කරන ආකාරය යි. ධර්ම බෙදමින්, විග්‍රහ කරමින් කරනු ලබන විවරණ හේතුවෙන් අභිධර්මය නම් බහුත්ව වාසයකි යන මිත්‍යාදෘෂ්ටිය කිසිවකුට ඇති වුවහොත් එය දුරුවීම ට ධර්ම සංශෙලෂණයක් වූ පට්ඨාන මහා ප්‍රකරණය උපකාර වෙයි. ධර්ම නම් එකිනෙකට අසම්බන්ධ ව පරිබාහිර ව වියුක්ත ව පවතින දේ නො වෙති. ඒවා අතර අන්තර් සම්බන්ධතා පවතියි. ඒවා එකිනෙකට බැඳුණු සුසංයුක්ත ඒකක රාශියකි. කුඩා ම ධර්ම ඒකකය පවා අනිකුත් ධර්ම කෙරේ බලපාමින් ඒවායින් බලපෑම් ලබා ගනියි. මෙම සංශ්ලේෂී අන්‍යොන්‍ය සම්බන්ධතාජාලය අතිශය සියුම්, සංකීර්ණ හා ගැඹුරු එකකි. පට්ඨානය එ ම සම්බන්ධතා විසිහතර ආකාරයක් දක්වයි. ග්‍රන්ථය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වෙයි.
අනුලෝම පට්ඨානය - ධර්ම අතර ප්‍රත්‍යය සම්බන්ධතාවන් පවත්නා ස්ථාන විග්‍රහ කරයි.
පච්චනීය පට්ඨාන - ධර්ම අතර ප්‍රත්‍යය සම්බන්ධතා නො පවත්වා සථාන විග්‍රහ කරයි.
අනුලෝමපච්චනීය පට්ඨාන - සමහර ප්‍රත්‍යය සම්බන්ධතා පවත්නා සහ සමහර සම්බන්ධතා නො පවත්නා තැන් පිළිබඳව දක්වයි.
පච්චනීය අනුලෝම පට්ඨාන - සමහර පච්චය සම්බන්ධතා නැති නමුත් සමහර ඒවා පවත්නා තැන දක්වයි.
පටිච්ච සමුප්පදායෙහි අංග අතර පවත්නා සූවිසි ප්‍රත්‍යයන් මෙ ම චතුර්විධ ප්‍රභේදය තුළ ආකාර හයකට ක්‍රියාත්මක වන බව දක්වා තිබේ.
තික පට්ඨාන - සූවිසි ප්‍රත්‍යය තික විසි හතරක් අනුව යෙදේ.
දුක පට්ඨාන - සූවිසි ප්‍රත්‍යය දුක සියයක් අනුව බෙදේ.
දුක - තික පට්ඨානය - දුක සියය තික විසි හතරට මිශ්‍ර ව යෙදේ.
තික - දුක පට්ඨාන - විසි හතරක් වූ තික, සයයක් වූ දුක හා මිශ්‍ර ව යෙදේ.
තික - තික පට්ඨාන - තික විසිහතර එකනෙක මිශ්‍ර ව යෙදේ.
දුක - දුක පට්ඨාන - සියයක් දුක සියයක් දුක හා එකිනෙක මිශ්‍ර ව යෙදේ.
(මෙහිදී දුක නමින් දෙකේ ගොඩ යන්න ද තික යන්නෙන් තුනේ ගොඩ යන්න ද, අදහස් වෙයි.)
මෙ සේ සතරකාර සිවු පට්ඨානය ෂාඩාකාර සය පට්ඨානය හා මිශ්‍ර වූ විට කාණ්ඩ විසි හතරක් වන හෙයින් මහා ග්‍රන්ථයක් බව ට පට්ඨානය පත්වෙයි. එහෙයින් ටිකානු ටිකාවන් හි එය අනන්තනය සමන්තපට්ඨාන ලෙස හඳුන්වා ඇත.
මුලාශ්‍ර : අභිධර්මය (බෞද්ධ ධර්මාචාර්ය විභාගය)
සකස් කිරීම : www.buddhistculture.net
අභිධර්මයේ මූලික කරුණු
අභිධර්මයේ මූලික ධර්ම අසූදෙකකි. එ නම් සිතය, චෛතසික පනස්දෙකය, රූප විසිඅටය, නිවනය යි. අභිධර්මය උගන්නා තැනැත්තන් විසින් උගෙනීමේ අඩිතාලම වශයෙන් ඒ ධර්ම අසූදෙක මැනවින් උගත යුතු ය. මූලික ධර්ම පිළිබඳ වැරදි අවබෝධයක් ඇති වුවහොත් ඒ වරද දිගට ම යන බැවින් සෑම තැන දී ම එයින් අවුල් ඇති වේ. ඒ ධර්ම හොඳින් තේරුම් ගතහොත් අභිධර්ම පිටකය පහසුවෙන් උගත හැකි වේ. ඒ ධර්ම ටික හොඳින් තේරුම් නො ගෙන අභිධර්ම පිටකය කිහිප වාරයක් අවසන් වන්නට උගතත් ධර්මය ගැන පිරිසිඳු අවබෝධයක් ඒ තැනැත්තා ට නො ලැබේ.
පරමාර්ථය හා හීනාර්ථය
පරමත්ථ (පරමාර්ථ) යනු අභිධර්මයේ මූලික වූ ඉහත කී ධර්ම දෙඅසුව ට කියන සාමාන්‍ය නාමයකි. පරමාර්ථයන් ගේ තතු වෙන් වෙන් ව දැනගැනීම සඳහා අත්තිවාරම වශයෙන් එ හි ලක්ෂණ මැනවින් තේරුම් ගත යුතු ය.
සිත ට දැනෙන, සිත ට හසුවන සිතින් ගන්නා යමක් වේ ද, ඒ සියල්ල ට ම අර්ථ ය යි කියනු ලැබේ. අර්ථ යන්නෙ හි තේරුම සිතින් දැනගන්නා දෙය යන්න යි. සියල්ල ම සිත ට දැනෙන බැවින් අර්ථ නො වන කිසිවක් කොතනකවත් නැත්තේ ය. සිත ට දැනෙන සියල්ල අර්ථයක් වන කල් හි සිත අර්ථයක් වන්නේ කෙ සේ ද? එය අර්ථ භාවයෙන් බැහැර වන්නේ නො වේ ද? යන ප්‍රශ්නය ඇති වන්නේ ය. එක් සිතකට තවත් සිතක් දැනෙන බැවින් සිත ද, අර්ථය වේ. තව ත් ක්‍රමයකින් කියතොත් වචනයෙන් කියවෙන්නා වූ අසන්නහු ගේ සිත ට වචනානුසාරයෙන් දැනෙන්නා වූ දෙය අර්ථ නම් වේ. එක් වචනයකින් තව ත් වචනයක් කියා හැකි බැවින් වචන ද, අර්ථ භාවයෙන් නො මිදේ. හැම දෙය ම වචනවලින් කියවෙන බැවින් ලොව ඇති සියල්ල ම අර්ථයෝ වෙති.
සාමාන්‍යයෙන් එකක් වූ අර්ථය හීනාර්ථය සහ පරමාර්ථය ලෙස දෙකොටසක ට බෙදේ. ඇතැම් වචනයක් ඇසුණු කල් හි එ හි අර්ථ වශයෙන් සිත ට දැනෙන දෙය ඉතා මහත් දෙයක් හැටියට දැනුනත් ඒ දැනුණු දෙය සත්‍ය වශයෙන් ම නැති දෙයක් විය හැකි ය. ඇතැම් වචනයක් ඇසුණු කල් හි එ හි අර්ථ වශයෙන් දැනෙන දෙය ඉතා සියුම් අප්‍රකටදෙයක් වුව ද, එය සත්‍ය වශයෙන් ම ඇති දෙයක් විය හැකි ය. මේසය යන වචනය ඇසුණු කල එයින් විශාල වස්තුවක් සිත ට දැනෙයි. එය වැඩිදුර විමසා බැලුවහොත් එ හි කෙලින් තිබූ ලී කැබලි සතරක් ද, ඒවා එකිනෙක ට සම්බන්ධ කිරීම ට යෙදූ ලී කැබලි සතරක් ද, ඒවා මත ඇතුළ ලෑලි කැබලි කිහිපයක් ද, ඇණ කිහිපයක් ද, දැකිය හැකි ය. ඒවායින් එක් දෙයකුදු මේසය නො වේ. ඒ සියල්ල ද, මේසයක් නො වේ. ඒ සියල්ල මේසයක් නම් ඒ සියල්ල මිටියක් බැඳ තැබූ කල් හි ද, ඒ ලී මිටිය මේසයක් විය යුතු ය. එ සේ නො වන්නේ ඒ සියල්ල මේසයක් නො වන බැවිනි. ලී කැබලි ටික හැර මේසය කියා දෙයක් ද, නැත. මේසය යන වචනය ඇසුණු කල සිත ට දැනුණු දෙය ලී කැබලි ටික ඒ ආකාරයෙන් එකිනෙක සම්බන්ධ කළ කල් හි ඒ ලී කැබලි ටික ඒ ආකාරයෙන් එකිනෙක ට සම්බන්ධ වී ඇති ආකාරය අනුව ඇති සතියට සිත ට හැඟෙන සත්‍ය වශයෙන් නො ලැබෙන දෙයකි. අප භාවිත කරන වචන බොහෝවක් ම ඇසුණු කල් හි ඒවායින් සිත ට දැනෙන අර්ථ මේසය යන වචනයෙන් දැනෙන අර්ථය සේ ම සත්‍ය වශයෙන් නො ලැබෙන්නා වූ අර්ථයෝ ය. පුටුව, ගෙය, දවස, මාසය, උතුර, දකුණ, ගොනා, මිනිසා, යන මේ වචනවල අර්ථ විමසා බලනු. ඇතැම් වචනයක් ඇසුණු කල් හි එයින් අසන්නහු ගේ සිත ට හැඟෙන දෙය ඉතා අප්‍රකට දෙයක් වුව ද, එය සත්‍ය වශයෙන් ම ඇති දෙයක් විය හැකි ය. චිත්ත, ඵස්ස, වේදනා, ලෝභ, දෝස, මෝහ යනාදී වචනවලින් හන්ගේන්නා වූ අර්ථයෝ මේසාදියේ සේ මහත් ව නො වැටහෙන ඒවා වුව ද, සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථයෝ ය. සත්‍ය ලෙස ම නැත්තා වූ අර්ථයය, සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථය යන මේ දෙකෙන් සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථය ට වඩා සත්‍ය වශයෙන් ලැබෙන අර්ථය උසස් ය. සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථය පහත ය. එ බැවින් සත්‍ය වශයෙන් ලැබෙන අර්ථය පරාර්ථ නම් වේ. සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථය හීනාර්ථ වේ.
හීනාර්ථ පරමාර්ථයන් ගේ ලක්ෂණ
සත්‍ය වශයෙන් නො ලැබෙන බව හීනාර්තයා ගේ ලක්ෂණය යි. සත්‍ය වශයෙන් ඇති බව පරමාර්ථයා ගේ ලක්ෂණය යි. විමසන්න ට මත්තෙන් මහත් ව පෙනී විමසන කල නැති වී යන බව හීනාර්ථයේ ලක්ෂණය යි. විමසන්න ට මත්තෙන් නො පෙනී විමසත් විමසත් ම මතුවෙවී ඒම පරමාර්ථයා ගේ ලක්ෂණය යි. දුර සිට බලන කල් හි මහා ප්‍රදේශයක් වසාගෙන සිටින මහත් දෙයක් සේ පෙනී ළං වූ කල කිසිවක් නො පෙනෙන මීදුම මෙන් හීඑනාර්ථය විමසන කල කිසිවක් නො පෙනෙන මීදුම මෙන් හීනාර්ථය විමසන කල නැති වී යන්නේ ය. දුරින් බලන කල කිසිවක් නො පෙනී ඇත ගෑ කල තදින් දැනෙන යකඩයක ගිනියම සේ පරමාර්ථය විමසන්න ට මත්තෙන් නො පෙනී තිබී විමසන කල ඇති බව තදින් දැනෙන්න ට වන්නේ ය.
පරමාර්ථය සොයාගත යුතු ආකාරය
යම් අර්ථයක් පරමාර්ථයක් ද, නැතිනම් හීනාර්ථයක් ද, යි දැනගැනීම පිණිස එය බෙදා බැලිය යුතු ය. බෙදන කල් හි ද, මතු දැක්වෙන නීති දෙක සිත් හි තබාගෙන එය කළ යුතු ය.
එක එක ම ය කිසි කලක එක දෙකක් නො වේ
දෙක දෙකක් ම ය කිසිකලක දෙක එකක් නො වේ.
යම් දෙයක් කැඩිය හැකි වේ නම් එ සේ කළ හැකි වන්නේ එය පළමුවෙන් ම් දෙකක් ව තිබූ බැවිනි. එක් දෙයක් හැටියට සලකන දෙයක් හත අටකට විස්සකට තිහකට කැඩිය හැකිවෙතොත් එ සේ කළ හැකි වනුයේ එය පළමුවෙන් හත අටක් විස්සක් තිහක් ව තිබූ බැවිනි. වස්තු දෙකක් ළං ව ඇලී එකක් මෙන් තිබිය හැකි ය. එහෙත් ඇලීමෙන් දෙක එකක් නො වේ. එය ඇලී තිබෙන දෙකකි. නැවත වෙන් කළ හැකි වන්නේ ඇලී වුව ද, දෙක වෙන් වෙන් ව ම පවතී බැවිනි. එක නම් සැමකල් හි ම එක ම ය. කිසි ම ආකාරයකින් එය දෙකක් කළ නො හැකි ය. මුලින් එකක් ලෙස පෙනුණු දෙයක් දෙකට කැඩිය හැකි නම් දෙකට පැලිය හැකි නම් මුලින් පෙනුණු සත්‍ය වශයෙන් ඇති අර්ථයක් නො ව හීනාර්ථයක් බව දත යුතු ය. එකක් වශයෙන් සිත ට ලැබෙන අරමුණු බෙදා බෙදා බලන කල් හි අන්තිමට නො බෙදිය හැකි දෙයක් ලැබෙන තුරු බෙදනු. අන්තිමට ලැබෙන නො බෙදිය හැකි ඒ දෙය සත්‍ය වශයෙන් ම ඇති දෙය බැවින් එය පරමාර්ථ ය යි දත යුතු ය. යම් වචනයක් ඇසුණු කල් හි එයින් සිත ට දැනුනු දෙය කවරාකාරයකින් වත් නො බෙදිය හැකි දෙයක් නම් එය පරමාර්ථයක් ය යි දත යුතු ය. චිත්ත, ඵස්ස, වේදනා, පඨවි, ආපෝ, තේජෝ, ආදී වචන ඇසුණු කල් හි දැනෙන අර්ථ නො බෙදිය හැකි ඒවා ය. එ බැවින් ඒවා සත්‍ය ලෙස ම පවතින පරමාර්ථයෝ ය. මේසය, පුටුව, ඇඳ, ගස, ගල, ගොනා, මිනිසා, දෙවියා, යනාදී වචනානුසාරයෙන් දැනෙන අර්තයෙඕ බෙදිය හැකි ඒවා ය. එ බැවින් ඒවා සත්‍ය වශයෙන් ම නැත්තා වූ හීනාර්ථයෝ ය. සම්මුතිය පඤ්ඤත්තිය යන වචන දෙක ද, හීනාර්ථය ප්‍රකාශ කිරීම සඳහා භාවිත කරන වචන දෙකකි. හීනාර්ථය එ නම් සත්‍ය වශයෙන් නො පවත්නා එහෙත් ලෝකයා විසින් සම්මත කරගෙන සිටින දෙය ට වඩා සත්‍ය වශයෙන් ම ඇති පරමාර්ථ ධර්ම සංඛ්‍යාව ඉතා අඩු බව කිව යුතු ය. අභිධර්ම පොත්වල ඇති ආකාරය ට නම් ඇත්තේ පරමාර්ථ දෙඅසුවකි. ඒ දෙඅසූව කොටින් කියා කල් හි චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය යි කියා සතරෙක් වේ.
පරමාර්ථ ධර්මයෝ වනාහි ගස් ගල් සේ මහත් ව ඇස ට පෙනෙන්න ට ඇත්තාහු නො වෙති. පරමාර්ථ සියල්ලෝ ම ක්‍රියාවෝ ය. අද්‍රව්‍යයෝ ය. ක්‍රියා තත්වය මැනවින් නො වටහා ගත් තැනැත්තා ට පරමාර්ථයන් ගේ තත්වයන් වටහා ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්ම තත්වය දැනගනු රිසි තැනැත්තා විසින් පළමු ව ක්‍රියා තත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගත යුතු ය. ක්‍රියා තත්වය අවබෝධ කරගත් පසු ඔහු ට පරමාර්ථ තත්වය අවබෝධ කරගැනීම පහසු වේ. එ බැවින් පළමු ව මෙ හි ක්‍රියා තත්වය පිළිබඳ කුඩා විවරණයක් කරනු ලැබේ.
ද්‍රව්‍ය, ගුණ සහ ක්‍රියා ලෙස ලොව ඇති සියල්ල කොටස් තුනකට බෙදිය හැකි ය. එයින් වටබව, සතරැස් බව, දිගු බව, කෙටි බව,ආදී ගුණයන් ට ආධාර ස්ථාන වන සත්ව වූ ද, අසත්ව වූ ද, සියල්ලෝ ද්‍රව්‍යයෝ ය. ද්‍රව්‍යයන් ගේ ඇතිවීම, පැවතීම, සෙලවීම, නැති වීම, ආදී මේවා ක්‍රියාවෝ ය. යෑම, ඒම, කෑම පිපීම, පිසීම, යන ආදිය ද්‍රව්‍යයන් ගේ සෙලවීම ය. ලෝකයේ ක්‍රියා වශයෙන් සලකන දෙයින් වැඩියක් ම ද්‍රව්‍ය චලනයෝ ම ය. ද්‍රව්‍ය ඇස ට පෙනෙන්නකි. ක්‍රියාව ඇස ට පෙනෙන්නක් නො වේ. එය ද්‍රව්‍යය බලා එය අනුව සිතින් දත යුත්තකි. අනුමානයෙන් සලකා ගත යුත්තකි. ක්‍රියා පෙනෙති යි සලකනුයේ ක්‍රියා තත්වය නො දැනෙන නිසා ය. මාර්ගයේ රථයක් යන කල් හි පෙනෙන්නේ රථය පමණකි. යෑම නො පෙනේ. එය ඇස ට අවිෂය ය. යන රථය එක තැනක දී ඇස ට පෙනී සැණෙකින් එ තැන නො පෙනී එයින් ඔබ පෙනෙයි. එතන ද, නො පෙනී එයින් ඔබ පෙනෙයි. මෙ සේ මාර්ගයේ තැනින් තැන රථය පෙනෙමින් රථයේ යෑම අනුමානයෙන් මනස ට දැනේ. මිනිස් සත්වාදී අනෙකුත් ද්‍රව්‍යයන් ගේ ක්‍රියාවෝ ද, ඒ ආකාරයෙන් බව දත යුතු ය.
ක්‍රියාවල දීර්ඝ කාලයක් පවතින ස්වභාවයක් නැත. කර අවසාන කරනු සමග ම අභාවප්‍රාප්ත වීම සෑම ක්‍රියාවක ම සැටි ය. යන තෙක් ගමන ක්‍රියාව පවතී. යෑම නවත්වනු සමග ම ක්‍රියාව අභාවප්‍රාප්ත වේ. ඉදිරියට එයින් ඇතිවන කිසිවක් නැත. මෙ සේ සෑම ක්‍රියාවක් ම අභාවප්‍රාප්ත වන බව දත යුතු ය. පැය ගණන්, දිනගණන්, මාස ගණන්, වර්ෂ ගණන්, පවත්නා පවත්නා ක්‍රියාවන් ඇතිසැටියට ලෝකයා සලකනුයේ එක මෙන් පෙනෙන සේ බැඳී පවත්නා වූ ක්‍රියා වැල්, ක්‍රියා පරම්පරාවල් එක් කොට එක් ක්‍රියාවක් සැටියට සිතා ගැනීමෙනි. ඇත්තෙන් ම කියන කල් හි පැයක් නො ව විනාඩියක්, තත්පරයක් පමණ කල් පවතින ක්‍රියාවකුදු ඇතිබව නො කියා හැකි ය.
යෑම එක් ක්‍රියාවකි. සිටීම ඊට විරුද්ධ වූ ක්‍රියාව වේ. යමෙක් යේ නම් එ කල් හි හේ නො සිටියි. යමෙක් සිටී නම් එ කල් හි හේ නො යේ. අන්‍යොන්‍ය විරුද්ධ ක්‍රියා එක් යකුට එකවර කළ නො හැකි ය. පොළවේ පෙරලී යන රෝදයක් ගැන කල්පනා කරනු. නො පෙරලී තිබෙන කල් හි රෝදය බිම ට බර වී තිබෙන්නාක් මෙන් ම යන කල් හි ද, එය බිම ට බර වී සිටින්නාක් සිටීමෙන් ම යන්නේ ය. රෝදය පෙරලී ගිය බිමෙ හි එය නො සිටි තැනක් නැත. රෝදයේ පෙරලීම එක් ක්‍රියාවකි. බිම ට බර වී සිටීම එය ට විරුද්ධ වූ අනෙක් ක්‍රියාවකි. කොතෙක්වේගයෙන් පෙරලී යන රෝදයක් වුව ද, පෙරලෙන වරක් පාසා බිම සිටින්නේ ය. සිටින කල් හි නො පෙරලෙන්නේ ය. එක වස්තුවකට ඒ ක්‍රියා දෙක එකවර සිදු නො කළ හැකි බැවින් රෝදයේ ගමන ය යි කියනුයේ පෙරලීමක් ළඟ ට සිටීමක් ද, සිටීමක් ළඟ ට පෙරලීමක් ද, ඇත්තා වූ ක්‍රියා වැලකට ය. සාමාන්‍ය ලෝකයා විසින් ඒ ක්‍රියා වැල එය ට අයත් සිටීම් සියල්ල ම ගණනකට නො ගෙන හැරදමා පෙරලීම් රාශිය එක් කොට ගෙන එක් ක්‍රියාවක් බව සලකනු ලැබේ. රෝදය අඟලක දුරක් යාමට එකිනෙක පෙර පසු වී සිදුවන පෙරලීම් හා සිටීම් ක්‍රියා බොහෝ ගණනක් සිදුවන බව කිව යුතු ය. එ හි නිශ්චිත සංඛ්‍යා ප්‍රමාණයක් නො දැක්විය හැකි ය. අඟල යම් පමණ කොටස්වල ට බෙදිය හැකි වේ නම් එ පමණ ක්‍රියා සංඛ්‍යාව කිව යුතු ය. වේගයෙන් ගමන කරන රෝදයකට අඟලක දුරක් යෑම සඳහා ගතවන කාලය තත්පරයකුත් නො වන්නේ ය. සත්‍යය නම් තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවක වත් ක්‍රියාවක් නො පවත්නා බව යි.
පරමාර්ථ ධර්මයෝ යි කියනු ලබන ධර්මයන් තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවකවත් ආයු නැත්තා වූ ක්‍රියාවෝ ය. ලෝකයේ දීර්ඝ කාලීන ව සිදුවන ක්‍රියා ලෙසින් පවත්නා සියල්ල ක්‍රියා වැල්, ක්‍රියා පරම්පරාවල් බව දත යුතු ය.
මුලාශ්‍ර : අභිධර්මයේ මූලික කරුණු - මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක හිමි
චිත්තය
චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා පරමාර්ථ වශයෙන් ද, ඇත්තා වූ අනේක ප්‍රකාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය. "චෙත, මන, විඤ්ඤාණ, හැඩය,මානස" යන මේවා ද, චිත්තය ම දක්වන පාලි වචනයෝ ය. ඇස, කන, නාසය, දිව, කය, හෘදය යන මේ ස්ථානයන් හි සිත පහල වේ. එය ක්‍රියාවක් වුව ද, ව්‍යවහාරය පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තිය ඇති ද්‍රව්‍යයක් සේ ද, ව්‍යවහාර කරනු ලැබේ. දැකීම, පෙනීම, ඇසීම යනාදී වශයෙන් ඒ ඒ ආකාරයෙන් උපදිනා සිත් හැඳින්වීම ට භාවිත කරන වචන ව්‍යවහාර භාෂාවේ බොහෝ ගණනක් වෙයි. ඇසෙ හි රූපයක් ගැටුණු කල් හි එය පිළිබඳ දැනුමක් හෙවත් සිතක් පහල වේ. එය ප්‍රකාශ කිරීමේ දී දැනීමය යන වචනය ව්‍යවහාර නො කොට පෙනීමය, දැකීමය, යන වචන ව්‍යවහාර කරති. ඇස ට හමුවීමෙන් යමක් දත් කල් හි පෙනුනේ ය කියා හෝ දුටුවේ ය කියා හෝ කියති. කනේ ශබ්ධයක් ගැටුණු කල් හි ඒ හඬ දැන ගන්නා සිතක් උපදී. එය ට හඬ දැනුම ය යි නො කියා ඇසීම ය යි කියනු ලැබේ. ඇසීම යන වචනයෙන් දැක්වෙන්නේ හඬ දන්නා වූ සිත ය. නාසය ට දුගඳක් පිවිසි කල් හි සමහර විට ගඳක් දැනෙන්නේ යි කියති. සමහර විට දැනීම යන වචනය නො ගෙන ගඳ ය යි ම කියති. එ බඳු අවස්ථාවල දී ගඳය යන වචනයෙන් හඟවන්නේ ද, ගඳ දැනගන්නා සිත ම ය. රසයක් මුඛය ට පැමිණි කල් හි රසයක් දැනුනේ ය යි කියති. සමහර විට එ සේ නො කියා තිත්ත ය, ඇඹුල් ය, යනාදී නම ම කියති. එ බඳු අවස්ථාවල රසයේ නමින් පැවසෙන්නේ ද, ඒ රසය දන්නා සිත ම ය. ශරීරයේ යමක් සැපුනු කල් හි සමහර විට සැපුනේ ය යි කියති. සමහර විට එ සේ නො කියා සැපීමෙන් වන ඵලය හඟවන රිදීම ය, ශීතල ය, උෂ්ණ ය, යනාදී වචන කියති. එ බඳු අවස්ථාවල දී ඒ වචනවලින් කියැවෙන්නේ ද, ස්පර්ශය දන්නා සිත ය. පඤ්චප්‍රසාද සම්බන්ධයක් නැති ව සිතක් උපන් කල් හි සමහර විට සිතුනේ ය යි කියති. සමහර විට දැනුනේ ය, කල්පනා වූයේ ය, ඕනෑ වුනේ ය, වැටහුනේ ය, තේරුනේ ය, හැඟුනේ ය, යනාදී වචන කියති. ඒ සියල්ලෙන් ම කියැවෙන්නේ සිත ම ය. කරුණු මෙ සේ හෙයින් දැකීම ය, පෙනීම ය, ඇසීම ය, ගඳ ය, සුවඳ ය, තිත්ත ය, කසට ය, ශීතය, උෂ්ණය, කල්පනාව ය, ඕනෑකම ය, යනාදී වචනවලින් දැක්වෙන්නා වූ අර්ථය චිත්ත පරමාර්ථ ය යි දත් යුතු ය. මෙ ම වචන අතරින් ඇතෙමකින් අධිකාර්ථය කියවේ. නිවැරදි ව ම සිතා ගැනීම ට අධිකාර්ථය හළ යුතු ය.
රථයේ ගමන ක්‍රියාව රථයෙන් ම එන වේගයකි. මිනිසකු ගේ ගමන ක්‍රියාව ශරීරයෙන් නැගෙන වේගයකි. අතක එසවීමේ ක්‍රියාව අතින් නැගෙන වේගයකි. එ මෙන් සිත ය යි කියන ආරම්මණ විජානන ක්‍රියාව චිත්ත පරම්පරාවේ අගින් නාග එන වේගයකි. පෝර ලැබෙන සැටියට වැලක අගින් දළු ලියලන්නාක් මෙන් අරමුණු ලැබෙන සැටියට ඒ ඒ අරමුණු ගැනීම් වශයෙන් චිත්ත පරම්පරාවේ අගින් අග ට අලුත් සිත් පහල වේ. සිත් පහල වන්නේ චක්ෂුරාදී වස්තුන් හි ය. එහෙත් සිත ඒවායින් නැග එන්නක් සැටියට නො ගත යුතු ය. සිත චක්ෂුරාදී වස්තුන් ගෙන් නැග එන්නක් නම් වස්තු කිහිපයක එකවර රූප, ශබ්ධ ආදී අරමුණු ගැටුණු කල් හි ඒ ඒ වස්තුවල එකවර ම ඒ ඒ අරමුණු පිළිබඳ සිත් පහල විය යුතු ය. එක් සන්තානයක එකවර සිත් දෙකක් පහල නො වන බැවින් ශරීරයේ කොතැනක සිත පහල වුව ද, පහල වන සෑම සිතක් ම චිත්ත පරම්පරාවේ අගින් ම පහල වන බව දත යුතු ය. සිත, චිත්ත පරම්පරාවේ අගින් ම නැග නැග එන වේගයක් සැටියට නො ගෙන ශරීරයෙන් හෙවත් නිඃශ්‍රය වස්තුන්ගෙන් නැගෙන වේගයක් සැටියට ගතහොත් අරූප භූමියක් ඇති බව ඔප්පු කළ නො හැකි වන්නේ ය. පුනර්භවයක් ඇති බව ද, ඔප්පු කළ හැකි නො වන්නේ ය. සිත, චිත්ත සන්න්තතියේ අගින් ම නැගෙන දෙයක් හැටියට දක්නා තැනැත්තා හට පුනරුප්පත්තියක් ඇති බව ද, පහසුවෙන් ම පෙනෙන්නේ ය.
ඇතැමෙක් සිත් ඇතිවීමේ ප්‍රධාන හේතුව අරමුණ ය යි කියති. අරමුණු සෑම තැන ම ඇත. කොතෙක් අරමුණු ඇතත් පැවත එන සිත් පරම්පරාවක් නැති නම් සිතක් නුපදී. ආරම්මණාදී හේතුන් ට සිත ඉපදවිය හැකි වන්නේ පැවත එන සිත් පරම්පරාවක් ඇති කල් හි පමණකි. එ බැවින් සිත් ඇති වීමේ ප්‍රධාන හේතුව ආරම්මණය නො ව පැවත එන සිත් පරම්පරාව බව දත යුතු ය. අරමුණක් නැති ව සිත ට ඇති විය නොහෙන බැවින් අරමුණ ද, සිත් ඇති වීමේ බලවත් හේතුවක් බව කිව යුතු ය.
සිතේ ආයුෂය
අහසේ හටගන්නා විදුලිය සැණෙකින් කිසිවක් ඉතිරි නො වී නැති වන්නාක් මෙන් ද, බෙරයකින් නිකුත් වන හඬ සැණෙකින් කිසිවක් ඉතිරි නො වී නැති වන්නාක් මෙන් ද, කර අවසාන වනු සමග ම සිදු වී අවසාන වනු සමග ම එයින් කිසිවක් ඉතුරු නො වී ක්‍රියා අභාවප්‍රාප්ත වන බව ඉහත කියන ලදී. සිත ද, ක්‍රියාවක් බැවින් ක්‍රියාවන් ට අයත් වූ ඒ ස්වභාවය නො ඉක්මවා ඉපද මොහොතකුදු නො පැවතී වහා අභාවප්‍රාප්ත වේ. පරමාර්ථ ධර්මයන් ගේ ඒ අභාවප්‍රාප්තිය ට නිරෝධ ය යි ද, භංග ය යි ද, කියනු ලැබේ. එක් සිතකට උපදනා කාලයය, පවත්නා කාලයය, බිඳෙන කාලයය යි කාල තුනක් ඇත්තේ ය. ඒ තුන්කාලය ප්‍රමාණයෙන් සම ය. එකක්වත් දිගින් අඩුවැඩි කමක් නැත. උපදින්න ට යම් පමණ කාලයක් වේ නම් එ පමණ කාලයක් ම පවතී එ පමණ කාලයකින් බිඳී යාම චිත්ත චෛතසික පරමාර්ථයන් ගේ ස්වභාවය ය. රූප පරමාර්ථයන් ගේ ජීවන කාලය සිත මෙන් සතළොස් ගුණයකි.
සිතේ ඉපදීම ට උත්පාදය යි ද, පැවැත්ම ට ස්ථිතිය ය යි ද, අභාවප්‍රාප්තිය ට භංගය ය යි ද, කියනු ලැබේ. උත්පාදස්ථිති භංග යන මේ තුන් කාලය ට චිත්තක්ෂණය ය යි කියනු ලැබේ. චිත්තක්ෂණය ඉතා ලුහුඬු කාලයකි. එක් සන්තානයක එක් සිත් පරම්පරාවක එඉකවර සිත් දෙකක් නූපදින්නේ ය. දෙවන සිතක් උපදින්නේ උපන් සිත සම්පුර්ණයෙන් ම අභාවප්‍රාප්ත වූ පසු ව ය. සාමාන්‍ය ලෝකයා විසින් ඉතා කෙටි සැටියට සලකනුයේ ඇසුරක් ගැසීම ට ගතවන කාලය, ඇසිපිය හෙලීම ට ගත වන කාලය ආදිය යි. "සො පන ඛණො අච්ඡරාසංඝාත ඛණස්ස අක්ඛිනිම්මීලනඛණස්ස ච අනෙකකොටි සතසහස්ස භාගො දට්ඨබ්බො" යනුවෙන් සිතක ජීවන කාලය ඇසුරු ගසන කාලයෙන් ඇසිපිය ගසන කාලයෙන් කෝටි ලක්ෂ ගණනින් කොටසක් තරමට කුඩා බව දක්වා තිබේ.
උපන් සිත කොතරම් ඉක්මනින් කොතෙක් වේගයෙන් නිරුද්ධ වෙතත් තැන සිස් නො වන ලෙස නිරුද්ධ වන සිත හා බැඳී උපදින සේ අලුත් අලුත් සිත් එළඹ සිටින අනේකප්‍රකාර ආරම්මණයන් ගනිමින් උපදින්නේ ය. නිරෝධ සමාපත්ති අවස්තාව හා අසංඥ භූමියේ ඉපිද සිටින අවස්තාවන් හැර චිත්ත පරම්පරාවේ සිත නුපදින තැනක නැත. විශේෂාරම්මණයක් නො ලද කල් හි ප්‍රතිසන්ධිය ට අරමුණු වූ කර්මාදීන් ගෙන් එකක් අරමුණු කරමින් වැල නො කැඩී සිත් උපදින්නේ ය. භවාංග සිත ය යි කියන කර්මාදිය ගෙන උපදිනා ප්‍රකෘති සිත් ඇති බව අප ට නො දැනේ. සිතේ ජීවන කාලය ඉතා ලුහුඬු බැවින් හා අතරක් ඇති නො වන සැටියට නිරුද්ධ වන සිත සමග බැඳී උපදනාක් මෙන් අලුත් අලුත් සිත ඉපදිය යුතු බැවින් ද, සිත උපදනා තැන සිදුවන්නේ ඉතා වේගවත් වැඩපිළිවෙලකි. එ බඳු වේගවත් වැඩපිළිවෙලක් කෙරෙන අන් කිසි යන්ත්‍රයක් නැත.
සිතේ විසිතුරු බව ලෝකය ඉතා විචිත්‍ර ය. එ හි විසිතුරු බව නම් එකිනෙකට වෙනස් වූ අප්‍රමාණ සත්ව සමුහයක් හා එකිනෙක ට වෙනස් වූ වෘක්ෂලතා ආදී අප්‍රමාණ වස්තු රාශියක් ඇති බව ය. සිත ද, අරමුණේ සතියට වෙනස් වූවකි. පොල් ගසක අරමුණු කරන සිත ට පුවක් ගසක අරමුණු කරන සිත වෙනස් ය. කොස් ගසක් අරමුණු කරන සිත ඒ දෙක ට ම වඩා වෙනස් ය. ගලක් අරමුණු කරන සිත ඒ සියල්ල ට ම වඩා වෙනස් ය. එ බැවින් ලෝකය විචිත්‍රවන තරමට චිත්තය විචිත්‍රය යි කිව යුතු ය. ලෝක විචිත්‍රත්වයේ ප්‍රමාණයෙන් චිත්ත විචිත්‍රත්වය දැක්වීම මුහුදු ජලය ලිඳක ජලය ට සමාන කිරීමක් වැනි ය. සත්‍ය වශයෙන් ම කියතොත් ලෝක විචිත්‍රත්වයෙන් ලක්ෂ කෝටි ප්‍රකෝටි ගුණයකට වඩා චිත්තය විචිත්‍ර ය.
ලෝකයේ ඇති එක් දෙයක් ගැන ඇතිවන්නා වූ සිත් ද, එකිනෙක ට වෙනස් ය. එක ම වස්තුව ගැන දස දෙනෙකු ට ඇතිවන සිත් දස ආකාර වේ. එක ම අරමුණක් ගැන එක ම සන්තානයේ සිත් දහස වරක් ඇතිවන්නේ නම් එය ද, දහස ආකාරයකිනි. කරුණු මෙ සේ හෙයින් සිත සේ විචිත්‍ර අනෙකක් ලොව නැතැ යි කිව යුතු ය. සත්වයන් ගේ විසිතුරු බව ඇති වී තිබෙන්නේ ද, සිතේ විසිතුරු බව නිසා ය.
සිතේ බලය සිත ඇස ට නො පෙනෙන හෙයින් කය ට ස්පර්ශ නො වන හෙයින් පරම සූක්ෂම ධර්මයක් වුව ද, එ හි මහා බලයක් ඇත්තේ ය. ලොව ඇති අන් සියල්ල ම සිත ට යටත් ය. එහෙත් දුබල සිත අන් සියල්ල ට යටත් ය. අරමුණු නිසා එය නොයෙක් අතට පෙරලෙන්නේ ය. සත්ව ලෝකය පවතින්නේ සිත නිසා ය. සත්‍ය දර්ශනයක් නැත්තවුන් ට නම් සිත පමණ උතුම් වටිනා තව ත් දෙයක් නැත. සත්‍ය දර්ශනය ඇතියවුන් ට පෙනෙන සතියට නම් සිත පමණ තවත් නපුරක් ද, නැත. සැම දුක ම ඇත්තේ සිත නිසා ය. සිත නැතහොත් කවර දුකක් ද? එය ම නිවන ය. මිනිසා හොඳ මිනිසකු කරන්නේ ද, නරක මිනිසකු කරන්නේ ද, සිත ම ය. ඔහු දෙව්ලොව බඹලොව යවන්නේ ද, නරකය ට ප්‍රේත බව ට තිරිසන් බව ට යවන්නේ ද, සිත ම ය.
සිතේ දුරවබෝධය අසංඥ භාවයේ සත්වයන් ට හැර අන් හැම දෙනා ට සිත ඇත්තේ ය. ඔවුන් සෑම දෙය ම දැනගන්නේ සිතින් ය. සිතක් ඇති බව ද, ඔවුහු සැම දෙනා ම දනිති. එහෙත් සිතේ සැටි නම් ඔහු නො දනිති. ඇසින් ලෝකය බැලිය හැකි ය. නමුත් ඇස ට ඒ ඇස නො පෙනෙන්නේ ය. පිහියෙන් අනෙකක් කාපිය හැකි ය. එ මෙන් සිතින් අනෙකක් දත හැකි ය. අනෙකක් දැනගන්නා වූ දන්නා වූ සිත තමා ගේ සැටි නො දන්නේ ය. තමා නො දක්නේ ය. අනෙකක් දැනගන්නා වූ සිත දැකගන්න ට නම් තව ත් සිතක් ඇති විය යුතු ය. තව ත් සිතක් ඇතිවන කල් හි තිබුණු සිත නැත. එ බැවින් සිතේ හැටි දැනගැනීම අතිශයින් දුෂ්කර ය. සිතේ සැටි සෙවීම ට බොහෝ වෙහෙස විය යුතු ය.
මුලාශ්‍ර : අභිධර්මයේ මුලික කරුණු (රේරුකානේ චන්දවිමල මහා නායක හිමි)
අභිධර්ම සාහිත්‍යය
“අභීධර්මය” යන්නෙන් පාලි ත්‍රිපිටකයෙ හි තුන්වන පිටකය අදහස් කරන බව ප්‍රකට කරුණකි. එහෙත් අභිධර්ම සාහිත්‍යය ගැන කරන විට එතරම් සරල ලෙස හඳුන්වා නිහඬ වීම ට නො හැකි පරිදි අභිධර්ම සාහිත්‍යය විපුල බව කිව යුතු ය. ථෙරවාදී බෞද්ධයන් තම තුන්වන පිටකයේ ඇති ග්‍රන්ථ සප්තකය අභිධර්මය සේ හඳුන්වන විට එ ම සාහිත්‍යය ට වෙනත් ග්‍රන්ථ සමූහයක් අභිධර්මය සේ ඉදිරිපත් කරන නිකායාන්තර රැසක් ඇති බව සැලකිල්ලට ගන්නට අප ට සිදුවෙයි. එ මෙන් ම අභිධර්මය යනු බුදුරදුන් විසින් සූත්‍ර මගින් දේශිත ධර්මය විධිමත් ලෙස පද්ධති බන්ධනය කර තේරුම් ගන්නට දැරූ ප්‍රයන්තයේ ප්‍රතිඵල සේ ගන්නා ඇතැම් නූතන පඬිවරු ථෙරීය අභිධර්මය සාහිත්‍යය පවා ක්‍රම විකාශය වූවක් බව දක්වති. මේ මතිමතාන්තර ගැන අවබෝධයක් ලබා තිබීම බුදුසමය විධිමත් ව හදාරන්නවුනට ඉතා ප්‍රයෝජනවත් ය.
මුලින් ම අපි ථෙරවාදී අභිධර්ම සාහිත්‍යය පිළිබඳව සළකා බලමු. මෙ හි දී ථෙරවාදීන් අතර ප්‍රමුඛත්වය ගන්නා පාලි බසින් අභිධර්ම පිටකය පවත්වාගෙන එන ථෙරීය විභජ්ජවාදී සම්ප්‍රද්‍රය මුල් තැන ලා සැලකිය හැකි ය. ජපන් ජාතික බෞද්ධ වියතකු වූ ජේ. තකාකුසු පවසන්නේ අභිධර්ම පිටකය විභජ්ජවාදී ත්‍රිපිටකයේ තහවුරු වූයේ තුනුවන සංගීතියේ දී බවය. එ ම අවස්ථාවේම ඊට සමාන්තර ව තවත් ථෙරීය කණ්ඩායමක් වු සර්වාස්තිවාදීන් විසින් ද අභිධර්මයක් සකස් කරගන්නා ලදී. මෙ හි දී අප විසින් තේරුම් ගත යුත්තේ අභිධර්ම සාහිත්‍යය අශෝක රජු ගේ සමයෙ හි (එ නම් තෙවන සංගීති අවස්ථාවෙ හි) අළුතෙන් ම ඇති වූ බව නො වේ. අභිධර්මය එ සේ එක් අවස්ථාවක සංගීති කාරකයක් විසින් රචනා කරන ලද්දක් නො වේ. තෙවන සංගීති අවස්ථාවෙ හි මොග්ගලීපුත්ත තිස්ස හිමියන් විසින් සකස් කරන ලද්දේ කථාවත්ථුප්පකරණය පමණි. අනෙකුත් ග්‍රන්ථ හය ඊට පෙර පැවතුනා විය යුතු ය. ථෙරීය විභජ්ජවාදීන්ගේ අභිධර්මය ට විරුද්ධ ව මුල්වරට විකල්ප අභිධර්මයක් සකස් කරගත්තේ සර්වාස්තිවාදීන් නො වේ. අශෝක රජු ගේ පියාණන් වූ බින්දුසාර රජ දවස ථෙරීය භික්ෂුවක් වූ වාත්සී පුත්‍ර හිමියෝ එවකට පැවති අභිධර්මය ප්‍රතික්ෂේප කර නව අභිධර්මයක් සැකසූ හ. පොත් නමයක් රචනා කර ඉදිරිපත් කළ මෙ ම නව අභිධර්මයෙන් උන්වහන්සේ කියා සිටියේ බුදු දහමෙ හි පුද්ගල සංකල්පය පිළිගැනෙන බව ය. බුදුරජාණන් වහන්සේ අනාත්ම වාදය දේශනා කළ නමුත් පුද්ගලයකු නැතැ යි වදාරා නැති බව පැවසූ උන්වහන්සේ එම පුද්ගලයා භවයෙන් භවයට විවිධ කායික ස්වරූප ගනිමින් සංක්‍රමණය වී අවසන විමුක්තිය ලබාගන්න බව පැවසූ හ. මෙ ම ‘පුද්ගල’ පංචස්කන්ධය ට අතිරේක වශයෙන් පැනවිය හැකි අතර එය ස්කන්ධයෙන් සහමුලින් ම බැහැර දෙයක් නො වන බව ද සංස්කෘත හෝ අසංස්කෘත ධර්මයක් ලෙස වර්ග කළ නොහැකි අව්‍යකෘතයක් බව ද පවසන ලදී. මේ අදහස් පිළිගත් පිරිස එ ම ග්‍රන්ථ නමයේ අභිධර්මය පෙරදැරි කරගනිමින් වාත්සීපුත්‍රීය නමින් නිකායක් පිහිටුවා ගත් හ. ථෙරවාදී ආභිධර්මිකයන් අතර මෙ ම ප්‍රභේදය හටගන්නා සමයෙ හි කථාවත්ථුප්පකරණය රචනා වී නො තිබිණි. එ හෙයින් මෙ ම වාදය හා සර්වාස්තිවාදය පිළිබඳ විවේචන කථාවත්ථුවේ ඇතුළත් කරන්න ට හැකි විය.
අභිධර්ම සාහිත්‍යයෙන් සෑහෙන කොටසක් අවශ්‍යයෙන්ම සූත්‍ර පිටකයේ ධර්ම කොට්ඨාසයක් විග්‍රහ කරමින් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් සාකඡ්ඡා කරමින් විධිමත් ධර්ම ප්‍රකරණයන් සේ සංගෘහිතව ඇතැ යි ඒ. කේ. වෝඩර් ප්‍රකාශ කරයි. මෙ ම කාර්යය බුද්ධ කලයේ ම සමාරම්භ වූ බව ගැන විවාදයක් නැත. බුද්ධකාලීන සංඝරත්නය අභිධර්ම කතාවෙ හි නිරතව සිටි අවස්ථා ගැන සූත්‍ර පිටකයෙ හි ග්‍රන්ථවල දැක්වෙන්නේ එ හෙයිනි. මෙ හි දී අභීධර්මය හා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අතර සම්බන්ධය ද සැළකිය යුත්තකි. සම්ප්‍රදායික මතය අනුව දිව්‍යලෝකයේ දී දේශනා කළ අභිධර්මය බුදුරදුන් විසින් සාරිපුත්ත හිමියනට උගන්වන ලදී. අනෙකුත් භික්ෂූන් වහන්සේ ලා එය උගත්තේ සාරිපුත්ත හිමියන් වෙතිනි. සර්වාස්තිවාදීන්ගේ සංගීති පර්යාය සූත්‍රයේ දැක්වෙන්නේ සාරිපුත්ත හිමියන් අභිධර්ම විවරණ මහා සංඝයා ට දේශනා කළ විට ඒවා අනුමත කිරීම බුදුරදුන් විසින් කර ඇති බව ය. ධර්මගුප්තික නිකායේ අභිධර්මය හඳුන්වන්නේ ශාරිපුත්‍රාභිධර්ම ශාස්ත්‍රීය නමිනි. මේ හැරෙන්නට බහුශ්‍රැතිය නිකාය ට ද අභිධර්මයක් තිබිණ. මහායානිකයන් අතර විශේෂ අභිධර්ම පිටකයක් සඳහන් නො වුණ ද අභිධර්ම පිටකයන්හි ආ අදහස් විවේඡනය කරමින් තව අභිධර්ම ග්‍රන්ථ කිහිපයක් යෝගාචාර නිකායේ භික්ෂූන් වහන්සේලා විසින් රචනා කරන ලදී. එ ම ග්‍රන්ථ ද අභිධර්ම ග්‍රන්ථ වශයෙන් හැඳින්වූවාට වරදක් නැත. එසේ සමීක්ෂනය කරන විට.
ථෙරිය විභජ්ජවාදී අභිධර්ම සාහිත්‍යය
ථෙරිය සර්වාස්තිවාදී අභිධර්ම සාහිත්‍යය
වාත්සි පුත්‍රීය හා ඔවුන්ගේ අනුනිකායිකයන් (ධර්මොත්තරීය භද්‍රයානික, ෂණ්ණාගාරික, සම්මිතිය) විසින් නිර්මිත පුද්ගලවාදී අභිධර්ම සාහිත්‍යය
ධර්මගුප්තික නිකායේ ශාරිපුත්‍රාභිධර්මය
බහුශ්‍රැතිය නිකායේ අභිධර්මය
මහායාන යෝගාචාරනිකායේ අභිධර්මය
සෞත්‍රාන්තිකයන් අභිධර්මය විවේඡනය කරමින් ඉදිරිපත් කළ සාහිත්‍යයයන වශයෙන් ඉතා පෘථුල අභිධර්ම සාහිත්‍යයක් පිළිබඳ ව අප ට කථා කළ හැකි වෙයි. මේ හැර විවිධ මහාසංඝික නිකායයන් විසින් ඉදිරිපත් කළ විකල්ප අභිධර්ම කෘතී ද රාශියක් තිබෙන්නට ඇත. එහෙත් දැනට අප ට ඉතිරි ව ඇත්තේ ඉතා ස්වල්ප කෘති ප්‍රමාණයක් පමණි. නිදසුනක් වශයෙන් පුද්ගලවාදී නිකාය පහ විසින් රචිත අති මහත් ග්‍රන්ථ සමූහයෙන් අද අවශේෂ ව ඇත්තේ සම්මිතිය අභිධර්ම ශාස්ත්‍රය පමණි. (එය ද ලැබුණේ චීන බසිනි. ශාන්ති නිකේතනයේ වෙන්කථරමණන් විසින් එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදී.)
මේ හැම අභිධර්ම සම්ප්‍රදායයක් ම බෞද්ධ චින්තනයේ පොදු උරුමයට හිමිකම් කියන අතර විස්තර ව්‍යාඛ්‍යාතයන් හි දී වෙනස්කම් දක්වති. විභජ්ජවාදීන් ගේ පට්ඨාන ප්‍රකරණය ප්‍රත්‍ය විසිහතරක් ගැන කරුණු දක්වතත් සර්වාස්තිවාදීන් ගේ අභිධර්මයේ ප්‍රත්‍ය හතරක් පමණක් දැක්වෙයි. (ඔවූහු හේතු හයක් ද දක්වති.) ශාරිපුත්‍රාභිධර්මයේ ප්‍රත්‍ය දහයක් හා හේතු තිස්තුනක් දක්වති. මෙ සේ යම් යම් ප්‍රභේද දක්නා ලැබෙන්නේ අභිධර්ම පිටකයන් ගේ සංවර්ධනය නිකාය භේදයෙන් පසු ව ද සිදු වූ හෙයිනි. වෙනත් විදියකින් කිවහොත් අභිධර්මය පිළිබඳ ව ඇතිවුණු මතභේද නිකාය භේද රාශියකට මුල් වූ බව කිව හැක.
අභීධර්මය පසෙක ලා සූත්‍ර කරා යමු යැයි සෞත්‍රාන්තික නිකායේ අය පැවසුවේ ද මෙ ම මතභේද අභිධර්මය නිසා සිදුවන බව පෙනුණු හෙයිනි. එහෙත් ඒ වනවිට ඇති වී තිබුණු ගැටළුවලින් මග හරින්නට ඔවුනට නො හැකි විය. එ හෙයින් අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කළ ත් අභිධර්ම ගැටළු මග හරින්න ට බැරි වූ තැන ඔවූහු අභිධර්මය ට විකල්ප සාහිත්‍යයක් ඉදිරිපත් කළ හ. එය ද අභිධර්ම නම නැතත් අභිධර්මයක් ම බව කිවයුතු ය.
ථෙරිය විභජ්ජවාදී සම්ප්‍රදායයෙ හි අභිධර්ම කෘති හතක් දක්නා ලැබේ. එ නම්.
ධම්මසංඝණිප්පකරණ
විභංගප්පකරණ
පුග්ගලපඤ්ඤත්තිප්පකරණ
ධාතුකථාප්පකරණ
කථාවත්ථුප්පකරණ
යමකප්පකරණ
පට්ඨානප්පකරණවශයෙනි. මේවා සෘජු ලෙස ම සම්බුද්ධ භාෂිත කෘති බව ථෙරවාදී අට්ඨකථාව අවධාරණය කරයි. මොග්ගලීපුත්තතිස්ස හිමියන් කථාවත්ථුප්පකරණය සකස් කිරීම පිළිබඳ ව ප්‍රශ්නයක් මතු වීම වැළකිය නො හැක. ථෙරවාදී අටුවාචාරීන් එයට පිළිතුරු දෙන්නේ මොග්ගලීපුත්ත තිස්ස හිමියන් එ ම කෘතිය කර ඇත්තේ බුදුරජුන් විසින් දෙන ලද න්‍යායය පදනම් කරගෙන නිසා එ හි කර්තෘත්වය ඒ හිමියනට නො ව බුදුරදුන්ට ම හිමිවන බව යි.
මුලාශ්‍ර : අභිධර්මය (බෞද්ධ ධර්මාචාර්ය විභාගය)
සකස් කිරීම : www.buddhistculture.net
අභිධර්ම පිටකය අබුද්ධ දේශිතය යි කියනවුන්ට පිළිතුරු
තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙ හි වදාරන ලද බුද්ධවචන රාශිය ධර්ම විනය වශයෙන් දෙපරිදි වෙයි. එයින් විනය "විනය" සහ "අභිවිනය" වශයෙන් කොටස් දෙකකි. භික්ෂු භික්ෂුණින් විසින් පොහොය කර්ම කිරීමේ දී උදෙසන පාරාජිකා පාළි, පාචිත්තිය පාළි යන විනය ග්‍රන්ථ දෙක "විනය"නමින්හැඳින්වෙයි. පැවිදි කිරීම්, උපසම්පදා කිරීම්, සීමා බැඳීම්, පොහෝ කිරීම්, පවාරණය කිරීම්, ඇවත ට පිළියම් කිරීම් ආදිය දක්වන්න්නා වූ ද, සිකපදයන් නොයෙක් ආකාරය ට විභාග කරන්නා වූ ද, මහාවග්ග, චුල්ල වග්ග, පරිවාර යන ග්‍රන්ථ තුන "අභි විනය"නමින් හඳුන්වනු ලැබේ. බුද්ධ වචනයන් පිටක වශයෙන් බෙදීමේ දී "විනය" හා "අභි විනය" දෙක ම විනය පිටකය වශයෙන් ගනුලැබේ.
ධර්මය ද, "ධර්ම" සහ "අභිධර්ම" ලෙස බෙදනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානවල දී ඒ ඒ පුද්ගලයන් හට ඔවුන් ගේ චරිත අනුව, අදහස් අනුව, පැමිණ ඇති කරුණු අනුව පවත්වන ලද ධර්ම දේශනා "ධර්ම" නම් වේ. සුත්‍ර යනු ද, ඒවා ට කියන තවත් නමකි. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන දේශනාව අභිධර්ම නම් වේ. එ නම් ධම්මසංගනී, විභංග, ධාතුකතා, පුද්ගල පඤ්ඤත්ති, කථාවත්ථු, යමක, පට්ඨාන යන ප්‍රකරණ සත ය. ධර්මය පිටක වශයෙන් බෙදීමේ දී මේ සප්ත ප්‍රකරණය අභිධර්ම පිටකය යි ද, ඉතිරි ධර්ම සුත්‍ර පිටක ය යි ද, කියනු ලැබේ.
ලොව ඇති සජීවාජීවාදී සියල්ල සෑදෙන මුල ධාතු විස්තර වශයෙන් විභාග කොට ඇත්තේ ද, ඒවා ඇතිවන සැටි ත්, පරම්පරා වශයෙන් පවත්නා සැටි ත්, ඒ ධාතු පරම්පරාවන් සිඳී යන සැටි ත්, ඒ ධාතූන් හි ඇති ශක්ති විශේෂයන් හා ඒවායින් ඇතිවිය හැකි දේ ත්, විභාග කොට ඇත්තේ ද, ඒ ශක්තින් නිසා ඇතිවන ඵල විපාක නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, මෙ ලොවින් පරලොව ට කිසිවක් නො ගොස් ම නැවත නැවත ත් භාවයෙන් භාවයෙ හි සත්වයා ගේ ඉපදීම සිදුවන ආකාරය දක්වා ඇත්තේ ද, අභිධර්ම පිටකයෙ හි ය.
සුත්‍ර පිටකය වනාහි වෛද්යවරයකු විසින් රෝගීන් පරීක්ෂා කර ඒ ඒ රෝගියා උදෙසා ලියන බෙහෙත් වට්ටෝරු සමුහයක් වැනි ය. එ සේ ලියු බෙහෙත් වට්ටෝරු දහස් ගණනක් කියවීමෙන් වුව ද, කෙනෙකු ට වෛද්යවරයකු නො විය හැකි ය. එ මෙන් සුත්‍ර කෙතෙක් උගත ද, එයින් බුදුදහම, බෞද්ධ දර්ශනය නිරවුල් ලෙස දතුවකු නො විය හැකි ය. බුදුදහම නිරවුල් ලෙස දත් නියම ධර්ම ධරයකු, ධර්ම කථිකයකු වීම ට නම් අභිධර්ම පිටකය උගත යුතු ම ය. අභිධර්මය නූගත් ධර්ම කථිකයා ට නොයෙක් විට කරුණු වරදින්නේ ය. එ බැවින් මහා ගොසිංග සුත්‍ර අටුවාවෙ හි මෙ සේ කියා ඇත්තේ ය.
"සුඛුමං පන චිත්තන්තරං ඛන්ධන්තරං ධාතන්තරං ආයතනන්තරං ඣානොක්කන්තිකං ආරම්මණොක්කන්තිකං අංගවවත්ථානං ආරම්මණවත්ථානං අංගසංකන්තං ආරම්මණසංකන්තං එකතො වඩ්ඪනං උභතො වඩ්ඪනත්ති ආභිධම්මික ධම්මකථිකස්සෙව පාටටකං අනභිධම්මිකො හි ධම්මං කථෙන්තො අයං සකවාදො අයං පරවාදොති න ජානාති. සකවාදං දීපෙස්සාමිති පරවාදං දීපෙති. පරවාදං දීපෙස්සාමීති සකවාදං සකවාදිනියාමෙනව පරවාදං පරවාදනියාමෙනව දීපෙති. ධම්මන්තරං න විසංවාදෙති."
අභිධර්මිකයන් සහ අනභිධර්මිකයන් ගැන අත්ථසාලානී අටුවාවේ හි මෙ සේ දක්වා ඇත්තේ ය.
"ආභිධම්මික භික්ඛුයෙව කිර ධම්මකතිකා නාම, අවසෙසා ධම්මකතං කථෙන්තාපි න ධම්මකථිකා කස්මා? තෙහි ධම්මං කථෙන්තා කම්මන්තරං විපාකන්තරං රූපාරූපපරිචිඡෙදං ධම්මනන්තරං අනාලොලෙන්ති. තස්මා ආභිධම්මිකො භික්ඛු ධම්මං කෙතෙතු වා පුච්ඡිත කාලෙ පන පඤ්හං කථෙස්සතීති අයමෙව කිර එකන්තධම්මකථිකො නාම භොති."
කරුණු මෙ සේ හෙයින් බුදුදහම ගැන නිවැරදි නිරවුල් අවබෝධයක් ඇතිකර ගනු රිසි සැමදෙනා විසින් ම අභිධර්ම පිටකය උගත යුතු ය. අභිධර්ම පිටකය බුදුදහමෙ හි ඉතා සාරවත් වූ ඉතා වටිනා කොටස ය. එහෙත් අටුවා ලියන කාලයේ දී "අභිධර්මය අබුද්ධ දේශිතයක් යැ" යි කියන විතණ්ඩවාදීන් විසූ බව අත්ථසාලිනී අටුවාවේ හි නිදාන කථාවෙන් පෙනේ. එක්තරා අභිධම්මික භික්ෂුවක් එ සේ කියන විතණ්ඩවාදියකුගෙන් ප්‍රශ්න අසා නිරුත්තර කොට ඔහු ගේ වාදය බිඳහෙලා නිරුත්තර කොට ඔහු ගේ වාදය බිඳහෙලා නිග්‍රහ කළ අයුරු අත්ථසාලියේ 23 පිටුවේ දක්වා තිබේ.
දැනුදු බුදුදහම පහත්කොට දක්වනු කැමති, අවුල් කරනු කැමති බෞද්ධයන් ගේ ආගම භක්තිය උපායෙන් නසනු කැමති ඇතැම් පඬිවරු "අභිධර්ම පිටකය බුද්ධ කාලයේ තිබුනේ නැත. එය බුද්ධ භාෂිතයක් නො වේ ය, එය ද්විතීය හා තෘතිය සංගායනාව අතර කාලයේ දී සම්පාදනය කරන ලද්දක් ය යි සිතිය හැකි ය" යි කියති. බුදුනටත් ඉහළින් එ ම යුරෝපීය පඬිවරයන් අභිවාදනය කරන අප රට ඇතැම් බෞද්ධයෝ ද, ඒ මත පිළිගෙන මහාලොකු දේවල් ලෙස තැන තැන පවසති.
තථාගතයන් වහන්සේ විසින් බුද්ධත්වය ට පැමිණ සත්වන වසරේ දී අභිධර්ම පිටකය දේශනා කළ බව අපේ පොතපතෙ හි නොයෙක් තැන්වල සඳහන් වන සුප්‍රසිද්ධ කරුණකි. විනය පිටකය ඇති වුයේ අභිධර්ම පිටකය ඇති වී වසර බොහෝ ගණනක් ගත වූ පසු ව ය. අභිධර්ම පිටකය දේශනා කළ කාලය වනවිට සුත්‍ර පිටකයෙන් ද, තිබෙන්න ට ඇත්තේ සුළු කොටසකි. එ බැවින් ම එ කල විසූ බොහෝ භික්ෂුන් අභිධර්ම පිටකය භාවිත කරන්න ට ඇතිවාට සැකයක් නැත. "අභිධර්ම පිටකයක් බුද්ධ කාලයේ නො තිබුනේ ය" යි කියනවුන් විසින් එ කල තිබුනේ ය යි පිළිගන්නා සුත්‍ර, විනය පිටක දෙකෙ හි නොයෙක් තැන්වල අභිධර්මය ගැන සඳහන් වන්නේ ඒ ධර්මය භික්ෂුන් අතර කෙලින් ම තිබූ නිසා ය.
විනය පිටකයේ පාචිත්තිය පාළියෙ හි 72 වැනි පාච්ත්තියෙ හි අනාපත්ති වාරයේ සඳහන් වන පාඨයක් මෙ සේ ය. " අනාපත්ති න විවණ්ණේතු කාමො, ඉංඝ තාව සුත්තන්තේ වා ගාතායෙ වා අභිධම්මං වා පරියාපුණස්සු. පච්ඡා පි විනයං පරියාපුණිස්සතිති භණති."
බුද්ධ කාලයේ අභිධර්ම පිටකයක් නො තිබුනේ නම් මේ සිකපදය විස්තර කිරීමේ දී අභිධර්මයක් සඳහන් කරන්න ට කරුණක් නැත.
තව ද, පාචිත්තිය පාලියෙ හි භික්ඛුණි විභංගයේ ඡත්තුපාහන වග්ගයේ 12 සිකපද විස්තරයේ මෙ සේ සඳහන් වේ.
"සුත්තන්තෙ ඔකාසං කරාපෙත්වා විනයං වා අභිධම්මං වා පුච්ඡති ආපත්ති. පාච්ත්තියස්ස."
විනයෙ ඔකාසං කරාපෙත්වා සුත්තන්තං වා අභිධම්මං වා පුච්ඡති ආපත්ති. පාච්ත්තියස්ස.
අභිධම්මෙ ඔකාසං කරාපෙත්වා සුත්තන්තං වා අභිධම්මං වා පුච්ඡති ආපත්ති. පාච්ත්තියස්ස."
මේ පාඨයේ සුත්තන්ත, විනය, අභිධම්ම යන පිටක තුන ම ඉතා පැහැදිලි ලෙස දක්වා තිබේ. මේ පාඨවල "අභිධම්ම" යන වචනයෙන් කියන ධර්මය අභිධර්ම පිටකය හැර අනෙකක් නම්, කුමක් ද? කියා බුද්ධ කාලයේ අභිධර්මය නො තිබූනේ ය යි කියනවුන් විසින් දැක්විය යුතු ය. එ සේ දක්වන්න ට දෙයක් ඔවුනට නැත. සුත්‍ර, විනය පිටකවල අභිධර්මය සඳහන් කර ඇති තව ත්, බොහෝ තැන් ඇතත් බුද්ධ කාලයේ අභිධර්මය නො තිබුනේ ය යි කියන මිථ්‍යා මතය බිඳලීම ට දැක්වූ විනය පාඨ දෙක ම ප්‍රමාණවත් වන බැවින් ඒවා නො දක්වනු ලැබේ.
ප්‍රථම ද්විතීය සංගීතිවල දී පිටකත්රය ම සංගායනා කළ බව අටුවාවල හා තව ත් පොත්වල ත් පැහැදිලි ලෙස ම දක්වා තිබේ. ඒ සංගායනාවල දී අභිධර්ම පිටකය ම සංගායනා නො කළ බව ත් කොතැනකවත් සඳහන් කර නැත. අභිධර්මය ඒ සංගායනාවල දී සංගායනා නො වූ බව කියනවුන් ට ඒ බව ඔප්පු කරන්න ට කිසිම ප්‍රබල සාධකයක් නැත. ඔවුන් ඒ ගැන දක්වන එක ම සාධකය චුල්ලවග්ග පාළියේ සංගීති කථාවල අභිධම්ම යන වචන සඳහන් නො වීම පමණකි. චුල්ලවග්ග පාළියේ සංගායනාව දක්වා තිබෙන්නේ ඉතා කෙටියෙනි.
එ හි "එතෙනව උපායෙන පඤ්චපි නිකායෙ පුච්ඡි, පුට්ඨො පුට්ඨො ආයස්මා ආනන්දො විස්සජ්ජෙසි." යන පඨයෙන් දක්වන්නේ අභිධර්ම පිටක ත් සංගායනා කළ බව ය. අභිධර්ම පිටකය නිකාය පසින් ඛුද්දක නිකාය ට අයත් වේ. චුල්ලවග්ග සංගීති කතාවේ අභිධර්මය යන වචනය සඳහන් වී නැත ද, ඛන්ධකාවසානයෙ හි දක්වා ඇත.
"උපාලි විනයං පුච්ඡි - සුත්තන්තානන්ද පණ්ඩිතං
පිටකං තිණි සංගීතිං - අකංසු ජින සාවකා"
යන ගාථාවෙන් පිටක තුනක් සංගායනා කළ බව දැක්වේ. අභිධර්ම පිටකය සංගායනා නො කළා නම් මේ ගාථාවෙන් කියන පිටක තුන මොනවා ද? වැරදුන තැන දී බොහෝ දෙන කරන පරිදි ඕවා පසු කාලයේ ලියන ලද ඒවා ය කියා ගැලවෙන්න ට තැත් කරනවා මිස මේ ප්‍රශ්නයේ දී පරවාදීන් ට කළ හැකි අනෙකක් නම් නැත.
තථාගතයන් වහන්සේ විසින් අභිධර්ම පිටකයේ වදාරා ඇත්තේ ඉතා ගැඹුරු ධර්මයෝ ය. එකකින් එකක් වෙන්කළ නො හැකි පරිදි බන්දී සමුහ වශයෙන් වහවහා ඉපද ඉපද බිඳි බිඳී යන චිත්ත චෛතසික ධර්මයන් මේ මේ ය කියා විභාග කර දැක්වීම ලොව්තුරා බුදුවරුන් ට මිස සෙස්සන් ට කළ හැකියක් නො වේ. එ බැවින් අභිධර්ම පිටකය ලොව්තුරා බුදුකෙනෙකුන් විසින් ම දේශනා කරනවා මිස අනිකෙකු විසින් සම්පාදනය කළ නො හැකි ය.
සාමාන්‍ය ලෝකයා ට විෂය නො වන ගැඹුරු ධර්මයන් විභාග කොට දක්වන අභිධර්ම පිටකය යමෙකු ට සම්පාදනය කළ හැකි වුයේ නම් එය සුළු කරුණක් නො ව මහා ප්‍රාතිහාර්යයකි. එ බඳු මහත් දෙයක් කළ තැනැත්තෙකු ට ඒ ග්‍රන්ථ බුද්ධ දේශනාවක් ලෙස ඉදිරිපත් කොට සැඟවෙන්න ට කිසි ම කරුණක් නැත.
අභිධර්ම පිටකය සම්පාදනය කළ හ යි කියන කාලයේ පොත් තිබුනේ නැත. ඒ කාලයේ ධර්ම සාස්ත්රයන් පවත්වාගෙන ආවේ පාඩම් ඇතියකුගෙන් අසා පාඩම් කරගැනීමෙනි. දීර්ඝ දෙයක් වන අභිධර්ම පිටකය සිය මුවින් ම කියා පිරිසකට පාඩම් කරවීම ට දිගු කලක් වුවමනා ය. බොරුවට ආයු මද ය. එ බැවින් කෙනෙකු ට අභිධර්ම පිටකය සම්පාදනය කර එය බුද්ධ දේශනයක් ලෙස රහස එළි නො වන ලෙස දිගු කලක් උගැන්වීම නො කළ හැකි ය. යම් දවසක දී කාරණය ඒකාන්තයෙන් ප්‍රසිද්ධ වන්නේ ය. ඉන්පසු ධර්මය උගෙනීම ට භික්ෂුන් නො වෙහෙසෙනවා ඇත. තමා විසින් යමක් සම්පාදනය කොට එය බුද්ධ දේශනයක් ය යි හඳුන්වා දීම බරපතල වරදකි. අභිධර්ම පිටකය වැනි විශාල දෙයක් පිළියෙළ කොට යමෙකු විසින් එය බුද්ධ දේශනයක් ලෙස ප්‍රසිද්ධ කරන්නේ නම් එය ඉතිහාසගතවන අපරාදයකි. මෙ තරම් මහත් වංචාවක් යමෙක් කරන ලද්දේ නම් එය ඒකාන්ත වශයෙන් හෙළි වන්නේ ය. එහෙත් අභිධර්මය බුද්ධ දේශනයක් නො වේ ය යි කියන කිසිවෙකු අභිධර්ම පිටකය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කිරීම ට සමත් ව නැත. එයින් පෙනෙන්නේ අභිධර්ම දේශනය බුද්ධ දේශනයක් නො වේ ය යි කීම බොරුවක් බව ය. අභිධර්මය අබුද්ධ දේශනයක් බව ඔප්පු කරන්න ට නම් එය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කළ යුතු ය.
මුලින් සම්පාදනය කළ තැනැත්තාගෙන් අභිධර්මය උගත් භික්ෂුන් සම්පාදකයා ගේ නම යටපත් කොට එය බුද්ධ දේශනාවක් ලෙස ප්‍රකාශ කරන්න ට පටන් ගත්තේ නම් එය වඤ්චාවක් පමණක් නො ව ගුරු ද්‍රෝහීකමකි. කිසි ම ප්‍රයෝජනයක් නැති ව එ වැනි අපරාධයක් භික්ෂූන් විසින් කරන ලදැ යි පිළිගැනීම ට කරුණක් නැත.
අභිධර්ම පිටකය ප්‍රථම හා ද්විතීය සංගායනාවල දී සංගීති නො වූ බව කියන අය තෘතීය සංගායනාවේ දී එය සංගීත වූ බව පිළිගනිති. විනය අටුවාවේ කියන හැටියට ඒ සංගායනාව ත්‍රිපිටකධාරී රහතන් වහන්සේලා දහසක් විසින් කරන ලද්දකි. ඒ රහතන් වහන්සේලා බුද්ධ දේශනයක් ය යි රැවටී අභිධර්මය උගත්තෝ ද? නැතහොත් උන්වහන්සේලා බුද්ධ භාෂිතයක් නො වන බව දැනගෙන ම එය බුද්ධ භාෂිතයක් වශයෙන් සංගායනා කළෝ ද? නැතහොත් විනය අටුවාවේ සඳහන් ඒ පුවත බොරුවක් ද? බොරුවක් නම් එය විනය අටුවාව ට ඇතුළත් කළේ කුමට ද? යන මේ ප්‍රශ්න විසඳීම අභිධර්මය අබුද්ධ දේශිතයක් බව කියන භවතුන් ට භාර කරමු.
අභිධර්ම දේශනාව පිළිබඳ හැඳින්වීම
ඥෙය සාගර පරාගත වූ මහා කාරුණික වූ අප බුදුරජාණන් වහන්සේ විසින් පරම සුක්‍ෂම පරම ගම්භිර චිත්ත චෛතසිකාදී පරමාර්ථ ධර්මයන් ගේ තතු ලොව ට හෙළිකරනු පිණිස දේශනා කළ විශිෂ්ට ධර්මය අභිධර්ම පිටකය යි. පරම ගම්භිර පරමාර්ථ ධර්මයන් ස්වකීය ශක්තියෙන් තත්වාකාරයෙන් අවබෝධ කොට දේශනය කිරීම ට සමත් වන්නෝ අතිදීර්ඝ කාලයක් මුළුල්ලේ රැස්කළ පාරමිතා කුසල බලයෙන් ලත් සර්වඥතාඥානය ඇති ලොව්තුරා බුදුවරයෝ ම ය. සෙස්සෝ එය ට සමත් නො වන්නා හ. බුදුවරයන් ලොව පහල වීමෙන් ලෝකය ට ලැබෙන විශිෂ්ට ධර්මය අභිධර්ම පිටකය වන්නේ එ බැවිනි. බුදුසමයේ ශරීරය ද, සාරය ද, එය ම ය. සුවාසුදහසක් ධර්මස්කන්ධය අතරින් අභිධර්මය පිටකය ට 42,000 තරම් කොටසක් එ නම් දේශනා කළ සමස්ත ධර්මයෙන් අඩක් අන්තර්ගත වන බව දේශනා කර ඇත. සියලු බුදුවරුන් ට සමාන ධර්ම තිහක් ඇත. අසමාන ධර්ම අටක් ඇත. සමාන ධර්ම තිහෙන් එකක් ලෙස ලොව්තුරා බුදුවී සත්වන වසරේ දී දෙවියන් සහිත ලෝකයා ට බුදුමහිමය පෙන්වනු පිණිස යමාමහ පෙළහර පා තව්තිසා භවන ට වැඩමවීම හැඳින්විය හැකි ය. එ හි දී මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛ දෙව්බඹුනට අභිධර්ම දේශනාව පැවැත්වීම සියලු බුදුවරුන් ට සමාන තව ත් ධර්මතාවයක් වන්නේ ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ද, බුද්ධත්වයෙන් සත්වන වසරේ ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේ දී යමාමහ පෙළහර පා විසිකොටියක් දෙනා ට ධර්මාවබෝධය කරවා තව්තිසා භාවනා ට වැඩම කළ සේක.
අප බුදුරජාණන් වහන්සේ අභිධර්මය අවබෝධ කොට වදාළේ බෝධි මුලයේ දී අරිහත් මාර්ගඵල අවබෝධය සමග ය. ඒ අවබෝධ කොට වදාළ ධර්මය සම්මර්ෂණය කිරීම සඳහා දින හතක් ගත විය. බුද්ධත්වයෙන් සතරවන සතියේ දී එය සිදුවිය. ඒ සතිය අවසානයේ දී බුද්ධ ශරීරයෙන් නිරන්තරයෙන් අධිෂ්ඨානයකින් තොර ව ෂඩ්වර්ණ රශ්මි මාලාවක් ඇති විය. අභිධර්ම පිටකය සම්පුර්ණයෙන් ම දේශනා කිරීම සඳහා මනුලොව දින 90ක් ගත වේ. අභිධර්ම දේශනාව එක ම සුත්‍ර දේශනාවක්හා සමාන බැවින් එය අනුපිළිවෙලින් දේශනා කළ යුතු ය. එක දිගට ම දේශනා කළ යුතු ය. මේ සඳහා මනුලොව දවස් 90ක් ගතවන බැවින් මනුෂ්‍යයන් ට එක ම ඉරියව්වකින් ඒ කාලය පුරා අභිධර්ම දේශනාව ට සවන් දීම අපහසු කරුණක් වන්නේ ය. ඒ කරුණ නිසා සහ මාතෘ දිව්‍යරාජයා ට කෘතගුණ දැක්වීමක් වශයෙන් මගඵල නිවන් අවබෝධ කරවීම සඳහා අභිධර්ම දේශනය සියලු බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයෙන් සත්වන වස තව්තිසා භවනෙ හි දී දේශනා කරන්නේ ය. මෙ සේ දෙව්ලොව දී තුන්මසක් පුරාවට සිදුකළ අභිධර්ම දේශනාව පන්සාලිස් වසක් දේශනා කළ ධර්මස්කන්ධය ට සමාන වන තරම් අතිශය විස්තාර දීර්ඝ ධර්ම දේශනයක් විය. ඒ කෙ සේ ද යත්, සාමාන්‍ය මනුෂ්‍යයෙක් "බුද්ධෝ" යන වචනය කියන විට ආනන්ද තෙරුන් වහන්සේ ට අටවරක් "බුද්ධෝ" කියා ප්‍රකාශ කළ හැකි ය. ආනන්ද තෙරුන් වහන්සේ එක වරක් "බුද්ධෝ" කියා ප්‍රකාශ කරන විට බුදුරජාණන් වහන්සේ ට දහසය වරක් "බුද්ධෝ" කියා ප්‍රකාශ කළ හැකි බව අට්ඨකතාවල විස්තර වේ. ඒ අනුව සාමාන්‍ය මනුෂ්‍යයෙක් යම් වචනයක් කියූ විට බුදුරදුන් ට 128 වාරයක් ඒ වචනය ප්‍රකාශ කළ හැකි වන්නේ ය. එ නමුත් අපැහැදිලිතාවයක් ද, ඇති වන්නේ නැති බව සැලකිය යුතු ය. ඒ අනුව සර්වඥයන් වහන්සේ ගේ ස්වර සම්පත්තිය පිහිටා ඇත්තේ ය.
මෙ සේ අභිධර්මය දේශනා කිරීම පිණිස බුදුරදුන් දෙව්ලොව ට වැඩම කළ ද, උන්වහන්සේ මනුලොව වේලාව අනුව කටයුතු කිරීම සිදුකරයි. ඒ සඳහා නිර්මිත බුදුරුවක් මවා 'මේ තාක් ධර්මය දේශනා කරත් වා' යි අධිෂ්ඨාන කර අනතුරුව සෑම දිනයක ම පිඬුසිඟා වඩින වේලාව සලකා මනුලොව ට වැඩම කරනු ලබන්නේ ය. පිණ්ඩපාතයේ වැඩම කර අනෝතප්ත විලෙන් පැන්පහසු වී දන් වැළඳීම පිණිස ගන්ධමුල පබ්භාරය ට වැඩම කරන සේක. එ තැන ට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැඩම කරන අතර දවසක් පුරා දෙසූ දහම සම්පිණ්ඩනය කර මාතිකා වශයෙන් බුදුරදුන් විසින් දේශනා කරනු ලබයි. සැරියුත් මහරහතන් වහන්සේ එය ප්‍රඥාමහිමය මෙහෙයවා අවබෝධ කොට ගෙන යමාමහ පෙළහර පෑ දින පැවිදි වූ පන්සීයක් භික්ෂු පිරිස ට උගන්වනු ලබන්නේ ය. මේ අනුව අභිධර්ම දේශනාව දෙව්ලොව අතිවිස්තාර දේශනාව, සැවැත් නුවර ගන්ධමුල පර්වතයේ අතිසංක්ෂේප දේශනාව, සැවැත් නුවර ජේතවනාරාමයේ ශිෂ්‍ය පිරිස ට මධ්‍යම දේශනාව වශයෙන් ඒ තුන්මස පුරා ස්ථාන තුනක දී අභිධර්ම දේශනාව පැවත් වී ය. එ බැවින් අභිධර්ම දේශනාව බුද්ධ දේශනයක් ම ය. එ හි මුල දේශනාව සිදුකරන ලද්දේ බුදුරදුන් විසින් ම ය.
(උපුටා ගන්නා ලද්දකි)
No comments:
Post a Comment
0715544214
Register Now
දහම්පාසල් ගුරු එකමුතුව