ආගමික හා දාර්ශනික පසුබිම



          ආගමික හා දාර්ශනික පසුබිම

  අනේකවිධ වූ ආගමික ඉගැන්වීම් හා ප්‍රතිපත්තිද, දාර්ශනික සිද්ධාන්තයන්ද නිසා ආකූලව නොසන්සුන්ව පැවති සමාජ පසුබිමක් මෙකල භාරතය පුරා විහිදී පැතිර තිබිණි. මෙකල ප්‍රධාන වශයෙන් පැවති බ්‍රාහ්මණ සංස්කෘතික සම්ප්‍රදාය තුළ බමුණෝ ශ්‍රේෂ්ඨතම පූජකයෝ වූහ. විශ්ව නිර්මාතෘ සර්ව බලධාරී බ්‍රාහ්මන්ගේ පරමාත්මය සමඟ එක්වීම බමුණු ආගමික ඉගැන්වීම් අනුව පරම සැපත ලෙස සලකන ලදී. ඒ අනුව ඔවුන් හඳුන්වා ඇත්තේ පොළවෙහි සිටින දෙවියන් හෙවත්  “ භූ සුර ”යන නාමයෙනි. මොවුන් දෙවියන් වෙනුවෙන් මනුලොව පෙනී සිටි අතර  දෙවියන් හා මිනිසුන් අතර සම්බන්ධය ඇති කරනුයේ බමුණන් විසින් යැයි පිළිගන්නා ලදී. භාරතීය ආගමික හා දාර්ශනික ඉතිහාසයෙහි වේද යුගයෙන් හා බ්‍රාහ්මණ යුගයෙන් කර්ම මාර්ගය වඩාත් කැපීපෙණිනි. මොවුන් විසින් සොයා ගන්නා ලද කර්ම මාර්ගය වූයේ යාගහෝම පැවැත්වීමයි. එනම් යාගහෝම මුල්කරගත් බාහිර ආගමික ක්‍රියාවන් මඟින් පරම සැපත වූ බ්‍රහ්ම සභව්‍යතාවය ලබා ගැනීමයි. බමුණෝ යාගහෝම වලට මුල් වීමෙන් සමාජයට ආගමික ආශිර්වාදය ලබා දුන්හ. අශ්වමේධ, පුරුෂමේධ, වාජජ්‍යෙය, නිරග්ගල ආදී නමි වලින් හඳුන්වන ලද විවිධාකාර වූ යාගහෝම විධි බමුණන් විසින් පවත්වන ලදී. මෙම යාගහෝම සඳහා සතුන් මෙන්ම මිනිසුන් බිලිදීමද සිදුවිය. මෙසේ මන්ත්‍ර ජප කිරීම, ආගමික සූත්‍රයන් ශබ්ද නඟා උච්චාරණය කිරීම, යාඥා කිරීම ආදිය මඟින් දෙවියන් ප්‍රබෝධමත් කිරීමෙන් හා සතුටට පත් කිරීමෙන් මිනිසුන්ට බොහෝ සැප සම්පත් ලැබේ යැයි මොවූහු විශ්වාස කළහ. මේ වනාහී මෙකල පැවති ආගමික පරිසරයේ එක් පැත්තකි. මෙමඟින් බ්‍රාහ්මණ සංස්කෘතියට මුල් වූ ආගමික විශ්වාසය පිළිබිඹු වේ.
            අරමුණු අතින් මෙන්ම එම අරමුණු ඉටුකරගන්නා මාර්ග අතින්ද බ්‍රාහ්මණ ධර්මයට පටහැනිව ගිය ආගමික සංවිධාන ද මෙකල දක්නට ලැබේ. එම සම්ප්‍රදායන් සියල්ල ශ්‍රමණ  යන පොදු නාමයෙන් හඳුන්වනු ලැබේ. විශේෂයෙන් බ්‍රාහ්මණයන් ගෙනහැර දැක්වූ යාගය ද, බමුණන්ගේ වේදය ද, එහි ඉගැන්වීම් ද, ඔවුන්ගේ වර්ණ ධර්මය ද ශ්‍රමණයන් අතර සැලකිල්ලට භාජනය නොවිණි. ශ්‍රමණ සම්ප්‍රදායෙහි ආගමික චින්තාව හා ප්‍රතිපදාවන් වඩාත් නැඹුරු වූයේ ඥාණ මාර්ගයන් ඔස්සේය. විවිධාකාර වූ දුෂ්කර පිළිවෙත් අනුගමනය කරමින්, ශීල වෘතාදිය පිළිපැදීමෙන්, විවේකීව සිත දියුණු කිරීමෙන් ඥාණය උපදවා එමඟින් විමුක්තිය, හෙවත් පරම සැපත ලබා ගත හැකි බව ශ්‍රමණ කොටස් අතර පොදුවේ පිළිගැනුන කරුණකි. මෙකල ශ්‍රමණ සම්ප්‍රදායට අයත් සුප්‍රසිද්ධ ශාස්තෘවරුන් සයදෙනෙක් වූහ. මොවූහු විවිධාකාර වූ ආගමික අදහස් ඉගැන්වූහ. මෙම ෂට් ශාස්තෘවරුන් බෞද්ධ සූත්‍ර වලදී හඳුන්වා ඇත්තේ තීර්ථංකරයන් ලෙසින් වේ.
1)      පූරණ කස්සප               - කුසලාකුසල කර්ම ප්‍රතික්ෂේප කරන මොහු අකිරිය වාදියෙකි.
2)      මක්ඛලී ගෝසාල          - සියල්ල නියමිත ස්වභාවික පිළිවෙළකට ඉබේ සිදුවන්නේ යැයි කී                                   මොහු නියති වාදියෙකි.
3)      අජිත කේශකම්බල        - මොහු භෞතික වාදියෙකි.
4)      පකුධ කච්චායන           - මොහු අකිරිය වාදියෙකු මෙන්ම භෞතික වාදියෙකු ද වේ.
5)      සංජය බෙල්ලට්ටිපුත්ත - කවර ප්‍රශ්නයකට වුව ස්ථීර ඒකංසික පිළිතුරක් නොදෙන මොහු                                      අමරාවික්ෂේප වාදියෙකි.
6)      නිගණ්ඨනාතපුත්ත       - මොහු පරම අවිහිංසා වාදියෙකි.

            මොවුන් හැරුණුකොට මෙම ශ්‍රමණ සම්ප්‍රදායටම අදාළ විවිධ අනාගාරික තවුසන් ද එකල වූ බවට සාධක ලැබී තිබේ. ඒ අතරින් පරිබ්‍රාජකයන්, අචේලකයන්, ආජීවකයන්, ජටිලයන් හා නිගණ්ඨයන් ප්‍රධාන තැනක් ගනී.
            මෙකල භාරතය ආන්කවිධ දාර්ශනික චින්තාවන්ගෙන් ද, ඒවා ඇසුරු කරගත් නිමක් නැති දාර්ශනික වාද විවාද හා සාකච්ඡා වලින් ද පිරී පැතිරී තිබූ බව පාලි සූත්‍ර වලින් මොනවට පැහැදිලි වේ. ඒ අතුරින් බ්‍රහ්මජාල සූත්‍රයෙහි මෙකල පැවති දාර්ශනික මතවාද හෙවත් දෘෂ්ටි 62 ක් ගැන සඳහන් වේ. ඒවා නම්,
v  පූර්වාන්ත කල්පික වාද 18,
Ø  කේවල ශාස්වත වාද     -           04
Ø  ඒකච්ච ශාස්වත වාද     -           04
Ø  අන්තානන්තික විද       -           04
Ø  අමරාවික්ඛේප වාද       -           04
Ø  අධිච්ච සමුප්පන්න වාද            -           02
v  අපරාන්ත කල්පික වාද 44,
Ø  සංඥී වාද                     -           16
Ø  අසංඥී වාද                   -           08
Ø  නෛවසංඥී වාද           -           08
Ø  උච්ඡේද වාද                 -           07
Ø  දිට්ඨධම්ම නිබ්බාන වාද-          05
මෙම දෘෂ්ටි වාද 62 ශාස්වතය හා උච්ඡේදය යනුවෙන් ද මූලික වශයෙන් වර්ග කොට දක්වනු ලැබේ.
            තවද, මෙකල නිරන්තරව සංසරණය වෙමින් පැවති දාර්ශනික ප්‍රශ්න 10 ක් ද, පාලි සූත්‍ර වල නිතර හමුවේ. බුදුරජාණන් වහන්සේ විසින් එක එල්ලේම විසඳුම් නොසපයන ලද ( අව්‍යකෘත ), පසෙකින් තබන ලද ( ඨපනීය ) ප්‍රශ්න ලෙස මේවා හැඳින්වේ. ඒවා නම්,


1)      ලෝකය ශාස්වත ද?
2)      ලෝකය අශාස්වත ද?
3)      ලෝකය අන්තවත් ද?
4)      ලෝකය අනන්තවත් ද?
5)      ජීවය හා ශරීරය එකක්ම ද?
6)      ජීවය හා ශරීරය දෙකක් ද?
7)      තථාගත මරණින් මතුවේ ද?
8)      තථාගත මරණින් මතු නොවේ ද?
9)      තථාගත මරණින් මතුවෙයි හා මතු නොවෙයි ද?
10)  තථාගත මරණින් මතු නොවෙයි හා  නොම නොමවෙයි ද?


            විවිධ දෘෂ්ටිවාදයන් ඇසුරින් උපන් මේ ප්‍රශ්න සසර දුක් නිවීම පිණිස උපයෝගී නොවන බැවින් බුදුරදුන් එක එල්ලේම මේවාට පිළිතුරු සපයා නැත. “ මෙය අර්ථ සහිත නොවේ. ආදී බ්‍රහ්ම චර්යාව පිණිස හේතු නොවේ. නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, උපසමය පිණිස, අභිඥාව පිණිස, සම්බෝධිය පිණිස, නිර්වාණය පිණිස හේතු නොවේ. එහෙයින් මේවා අවශ්‍යකෘත යැයි බුදුන් විසින් වදාරන ලද්දේය.
            මේ හැර තවත් දාර්ශනික වාද 3 ක් මහාතිත්ථායතන සූත්‍රෙයහි සඳහන්වේ.
1)      ඊශ්වර නිර්මාණ වාදය
2)      අහේතු අප්‍රත්‍ය වාදය
3)      පුබ්බේකත හේතු වාදය
            බුදු සමය විසින් මෙම වාදාන්තරයන් ද පිළිගෙන නැත. මේ සියල්ල අකිරියවාදයෙහිම වැටෙන බව බෞද්ධ අදහස වේ.
            මෙහි සඳහන් කරනු ලැබූයේ බෞද්ධ පාලි සූත්‍ර වලින් වඩාත් ඉස්මතුව පෙනෙන දාර්ශනික ප්‍රශ්න හාමතවාදයන් වේ. එක භාරතයෙහි පැවති දාර්ශනික නොසන්සුන්තාව පිළිබඳ සුත්ත නිපාතයේ අට්ඨක හා පරායන වග්ග වල වඩාත් සවිස්තරව සඳහන් වේ.

No comments:

Post a Comment

0715544214
Register Now
දහම්පාසල් ගුරු එකමුතුව